Thursday, 28 July 2011

විවිධ මත

1. සූත්‍ර පිටකයට අයත් වන ජාතක කතා ගණනින් පන්සිය පනහකට ආසන්න වෙයි. බුදුරදුන්ගේ පූර්ව ජන්ම සංඛ්‍යාත බෝධිසත්ත්ව කතා ජාතක නාමයෙන් ප්‍රකටය. ශ්‍රී මුක පාලිය ලෙස සැලකෙන ගාථා දේශනා කීපයක් අරභයා එක් එක් ජාතක කතාවක් ගෙතී ඇත. එම දේශනා ජාතක පාලි නැමති කෘතියෙහි ලා අන්තර්ගතය. උක්ත පාලි ගාථාවකට අටුවා සැපයීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාලි ජාතකට්ඨකතාව ප්‍රභවය වී ඇත. ඒ වනාහී අනුරාධපුර මහා විහාරයෙහි දී කෙරුණු අමරණීය කෘතියකි. දඹදෙණි යුගයේදී වීරසිංහ ප්‍රතිරාජ නැමති මන්ත්‍රීශ්වරයාගේ නියමය පරිදි ජාතකට්ඨකතාව සිංහලයට නගන ලදී. මෙය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ නමින් ප්‍රසිද්ධය.

2. ජාතක කතාවන්හි ඇතුළත් කේන්ද්‍රීය ගාථා ගෞතම බුදුරදුන්ගේ දේශනා බව පෙනේ. එහෙත් ඒ වටා ගෙතුනු කතා වස්තු වලින් සමහරක් ඉපැරණි ඒවා බව පැහැදිළිය. කලින් කලට ලොවැ බුදුවරු පහල වෙති.සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ප්‍රාදූර්භූත වීමට පූර්වයෙන් ද බුදුවරුන් සිටි බව හඟවන සැලකිය යුතු සාධක වේද, බ්‍රාහ්මණ,උපනිෂද්, සූත්‍රනිපාතය සහ අශෝක ශිලා ලේඛන යන මූලාශ්‍ර වලින් පෙනී යයි. මෙම පෙර බුදුවරුන් පිළිබඳ නොයෙක් කරුණු ජාතක කතාවන්හි ලා දක්නට ලැබේ. මේ හැර පසේ බුදුවරු (පච්චෙක බුද්ධ) පිළිබඳව ද ජාතක සාහිත්‍යයෙහි සඳහන් වෙයි. සිදුහත් ගොයුම් හිමියන්ටත් පෙරාතුව සත්‍යය සොයා ගත් උතුමන් භාරතයේ සිටි බව මෙම කරුණු වලින් පැහැදිළි වෙයි.

3. ජාතක කතාවන්හි ඇතුළත් සමහර කරුණු ඉතා පැරණිය. වෙස්සන්තර (සං,විශ්වාන්තර) ජාතකය සහ ඉස්සඵන්‍දන ජාතකය මින් සමහරකි. ඒවා තුළින් ඉන්දු ඉරානීය වාතාවරණයක් දෝංකාර වන්නාක් මෙන් පෙනේ. මිත්‍ර ද්‍රෝහීත්වය පිළිබඳ ජාතක සාහිත්‍යයෙහි පැණෙන කරුණු ඵෙරේණීය පූජ්‍ය ග්‍රන්ථය වන අවෙස්ථාවට අයත් මිත්‍ර සංකල්පය සිහි කරවයි. ජාකත කතාවන්හි ලා බුදුරදුන් විසින් තමන් බෝධි සම්භාරය පුරද්දී ඒ ඒ ජාතීන්හි ඒ ඒ අයුරින් උපන් බව ප්‍රකාශ කරුණු දක්නා ලැබේ. මෙය ඍග් වේදයට අයත් සතරවන මණ්ඩලයෙහි ලා “අහං මනුරභවත් කක්‍ෂීවාන්” හෙවත් “එකළ මම මනු වීමි එකළ මම කක්‍ෂීවාන් වීමි” යනුවෙන් ඉන්ද්‍ර විසින් කෙරෙන ප්‍රකාශය අපට සිහි කරවයි. බෘහද් දේවතා කෘතියෙහි සංගෘහිත වී ඇති වේද-බ්‍රාහ්මණ යුගයට අයත් කතා සම්ප්‍රදාය ද ජාතක කතා ප්‍රභවය කෙරෙහි බලපා තිබෙන්නට ඇත.

4. භාරතීය අපෝහවාදය (dialectic) පිළබඳ වැදගත් කරුණු ද මෙම සාහිත්‍යය තුළින් දිසු වේ. උම්මග්ග ජාතකය තුළ පැණෙන ප්‍රශ්න සහ තදීය විසර්ජනයන් මෙහි ලා ඉතා වැදගත් ස්ථානයක් ගනී. එහි පැණෙන වැලියොත, ධර්ම යුද්ධය ආදී කරුණු හා සම්බන්ධයෙන් අපෝහ න්‍යාය ගම්‍ය වනු පෙනේ. තලතා දේවින්ගේ විනිශ්චය ද අපෝහ ක්‍රමයට තුඩු දුන්නකි. ඥානවිභාගය සහ ක්‍රම විද්‍යාව පිළිබඳ වැදගත් කරුණු සත්තුභත්ත ජාතකය තුළින් පෙනී යයි. ශ්‍රී රාහුල මාහිමියන්ගේ කාව්‍යසේඛරයෙහි ලා එය වඩාත් ඉස්මතු වී ඇත. මෙහි දී වෘක්‍ෂ දේවතාවා විසින් ඉදිරිපත් කෙරී ඇත්තේ උභතෝකෝටියකි. එය ද භාරතීය අපෝහ න්‍යායට අයත් විශේෂ අංගයි.

5. ජාතක සාහිත්‍ය තුළ වැදගත් පාරභෞතික චින්තාවන්ද දක්නට ලැබේ. කාලය අවකාශය තුල හේතුත්වය පිළිබඳ එහි ඇතුලත් කරුණු සහ ගම්‍යයෝ දාර්ශනික වශයෙන් වැදගත් වෙති. ධර්මය අකාලික හෙවත් සෑම කාලයෙන්ම එපිට බව මෙහිලා පෙනී යයි. සදාචාර හේතු ඵල කථනය ජාතික සාහිත්‍ය පුරාම විහිදී ඇත. කාල ප්‍රඥප්තිය පිළබඳ වුවද එහි යම් යම් නිරීක්‍ෂණ විරල නොවේ. මූල පර්යාය ජාතකයෙහි පැනෙන කාලවාදය වැදගත්ය. එහි පැනෙන

කාලො ඝසති භූතානි

සබ්බානෙව සහත්තනා

යොච කාලඝසො භූතො

ස භූතා පවනිං පවි

යන ගාථාවෙහි අර්ථවවේදය (x, ix, 53, 1 ) හා ශෙවතාශවතර උපනිෂදය ( 1 , 2 ) ආදියේ දැක්වෙන කාලවාදයේ ඡායාවක් පතිත වී ඇත්තාක් මෙන් පෙනේ.

6. සදාචාර දර්ශනය අතින් ජාතක සාහිත්‍යය මැනවින් ඔප් නැගී ඇත. පරිපූර්ණත්වය පිළිඹිබු කරන පාරමිතා සංකල්පය මෙහිලා කැපී පෙනේ. බුදුදහමට අයත් අපරාවිද්‍යා චින්තාව මුළුමනින්ම පාහේ මෙහිලා ප්‍රකට වේ. ඒ අනුව පරාවිද්‍යාව හෙවත් පරමාර්ථ දේශනාවන්හි ඇතුළත් විය නොහැකි යුතුකම් සංඝටන (Conflict of duties) ප්‍රශ්නය මෙහි ලා මැනවින් පැහැදිළි වී ඇත. ඒ බව මහෞෂධ චරිතයෙන් ද තච්චසූකර ජාතකය, මහිංසාස ජාතකය ආදියෙන් ද පෙනී යයි. පුද්ගලයා, සමාජ යුතුකම් සහ අයිතිවාසිකම්, රාජ්‍ය පාලකයා සහ පාලන තන්ත්‍රය ආදී ක්‍ෂේත්‍ර පිලිබඳ වටිනා කරුණු මෙම සාහිත්‍යයට අයත් නොයෙක් තැන්වල දක්නට ලැබේ. ජාතක කතාවන්හි නිරූපණය වී ඇති ධර්මරාජතෙම (බුදුරජාණන් වහන්සේ) ප්ලොතොනික ජන රජයෙහි (Republic) පිළිබිඹුවන දාර්ශනික රාජයා(Philosopher - king) අපට සිහි කරවයි. ප්ලේටෝ ගේ උක්ත කෘතියෙහි පෙනෙන කල්‍යාණ පුරය (callipolis) වනාහි ධර්ම රාජ්‍යයක් මැයි. ප්ලේටෝ හට උක්ත සදාචාර සංකල්පය ලැබුණේ පෙරදිගින් ද යන්න විමසිය යුත්තකි.

7. ජාතක කතාවෝ සාහිත්‍යමය අගයෙන් ද අනූන වූවෝ ය. උපමා රූපක ආදී අලංකාර වලින් ඒවායෙහි අඩුවක් නොමැත. ආඛ්‍යාන ස්වරූපය ඊට අයත් මූලික ලක්‍ෂණය වුව ද සංවාද ලක්‍ෂණ ද එහි දක්නට ඇත. භාරතීය රසාස්වාදයට අයත් යම් යම් කරුණු බෞද්ධ දර්ශනයට අනුව ඒවායෙහි ලා සියුම් ලෙස දියුණු වී ගොස් ඇත. චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අසු සාදන ලද්දේ “අවකල්පනා” වෙනි. ඒ අනුව නවත්වන්ට උත්සහ දරන විට දුවන බවත්, දුවවන්ට උත්සහ දරන විට හේ නතර වන බවත් උම්මග්ග ජාතකයෙහි පවසන කල්හි සහෘදයාගේ මුවට නිතැතින් ම සිනාවක් නැගේ. මඛාදේව ජාතකය වැනි කතා වස්තූන්හි ලා මෛත්‍රී බලය මැනවින් ඔප් නැඟී ඇත.

- ජාතක සංදර්භය හා කතා රටාව කෘතියේ පෙරවදන - ි පිටුව)

No comments: