Tuesday, 26 July 2011

බුදුසමයේ දාර්ශනික හරය ලෝක අවධානයට යොමු කළ විද්වතාණෝ

මම කුඩා කල දහම්පාසල් සිසුවෙක්‌ ව සිටි අවධියේ දී නව වන ශේ්‍රණියේ දහම්පාසල් පොතෙන් විසි වැනි සියවසේ සිටි බෞද්ධ පඬිවරුන් දෙදෙනකු ගැන උගත්තෙමි. ඒ දෙදෙනා අතරින් එක්‌ අයෙකු වූයේ පාලි භාෂාව හා බුදුදහම පිළිබඳ ප්‍රාමාණිකයකු වූ ගුණපාල මලලසේකර මහාචාර්යතුමාය. අනෙක්‌ පඬිවරයා වූයේ කේ. එන්. ජයතිලක මහාචාර්යතුමා වන අතර, එතුමා බුදුදහමේ දාර්ශනික වටිනාකම පිළිබඳ ලෝකවිද්වතුන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කළේය. මා සිහිනෙකින්වත් නොසිතුව ද දහම්පාසල් සමයේ දී මගේ ලෝකයේ වීරයකු වූ කේ. එන්. ජයතිලකයන් ගැන එතුමා ගේ තිස්‌නව වැනි ගුණානුස්‌මරණය නිමිත්තෙන් උපහාර ලිපියක්‌ ලිවීමට මට සිදු ව ඇත. මා මෙලොව එළිය දැකීමටත් පෙර ම මෙලොවින් සමුගත් ඒ මහා විද්වතා පිළිබඳ මෙවැනි ලිපියක්‌ ලිවීම තරමක අභියෝගයකි. මේ ලිපිය ලීවීමේ දී එතුමා ගේ ආදරණීය බිරිඳ වන ෆැට්‌රීෂියා තවමති ජයතිලක මැතිනිය මෙන් ම ආර්. ඩී. ගුණරත්න මහාචාර්යතුමා සහ විමල් සපුකොටන මහතා වැනි අයගෙන් ලැබුණු සහයෝගය සිහිපත් කළ යුතු ය. තව ද එතුමා ප්‍රාමාණිකයකු වූ දර්ශන විෂයය උගත් අයෙකු වශයෙන් පමණක්‌ නොව, එතුමා නිසා බැබළුණු පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් මේ ලිපිය ලිවීමට ලැබීම මා ලද භාග්‍යයක්‌ වශයෙන් සලකමි.

ක්‍රි. ව. 1920 නොවැම්බර් මස 01 වැනි දා දෙහිවල, නැදිමාලේ දී කුලතිස්‌ස නන්ද ජයතිලක මහතා උපත ලැබීය. එතුමා ගේ ආදරණීය පියාණන් වුයේ ගම්පහ, යාගොඩ පෙදෙසේ සැදැහැවත් බෞද්ධ පරපුරකින් පැවත ආ දොන් ලෝරන්ස්‌ ජයතිලක මහතා වූ අතර, මෑණියන් වූයේ දෙහිවල, නැදිමාලේ එවැනි ම පරපුරකින් පැවත ආ එල්සි මැටිල්ඩා විඡේවර්ධන මැතිනිය යි. ක්‍රි.ව. 1954 ජූනි 21 වැනි දා ෆැට්‌රීෂියා තවමති තම්බිඅප්පා මෙනවිය සමග අතිනත ගත් ජයතිලකයන් මිය යන විට දූවරුන් දෙදෙනකුගේ ආදරණීය පියෙකු විය. දැනට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්‌ වන ආචාර්ය අංජනී කරුණාරත්න මහත්මිය එතුමා ගේ දෙටු දියණිය වේ. එතුමා ගේ කණිටු දියණිය වන්නේ දැනට කැනඩාවේ වාසය කරන නන්දනී කරුණාමුනි මහත්මියයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජයතිලකයෝ පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් සහ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයෙන් උසස්‌ අධ්‍යාපනය ලැබීය. එතුමා විසින් රචිත මුල් බුදුසමයේ ඥානවිභාගය නම් වූ පර්යේෂණ නිබන්ධයට ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් දර්ශනසූරී උපාධිය එතුමාට පිරිනැමිනි. මුල් බුදුසමයේ ඥානවිභාගයීය ස්‌ථාවරය හෙළිකරමින් කළ මේ ශාස්‌ත්‍රීය කෘතිය නිසා ලෝක විද්වතුන් ගේ අවධානය මුල් බුදුසමය වෙත යොමු විය. මීට අමතර ව බුදුසමය හා සාමය, ක්‍රිස්‌තියානියට බෞද්ධ එළඹුම, බෞද්ධ සාපේක්‍ෂතාව සහ කේවල ලෝක සංකල්පය, බෞද්ධ ඉගැන්වීම්වල අන්තර්ගත නීති මූලධර්ම, චතුස්‌කෝටික තර්ක ක්‍රමය, වෙනත් ආගම් පිළිබඳ බෞද්ධ ආකල්පය, බුදුසමයේ සමාජ හා දේශපාලන දර්ශනය, මහායාන බුදුසමයේ නූතන භූමිකාව, බුදුසමය හා ජාති ප්‍රශ්නය (මහාචාර්ය ජී. පී. මලලසේකර සමග) වැනි ශාස්‌ත්‍රීය ලේඛන නිසා ද බුදුදහම පිළිබඳ ලෝක විද්වතුන්ගේ අවධානය යොමු විය. කේ. එන්. ජයතිලකයන් ගේ ශාස්‌ත්‍රීය අධ්‍යයන බුදුසමය පිළිබඳ ව පමණක්‌ නොව මුළුමහත් පෙරදිග දර්ශනය කෙරෙහි ම ව්‍යාප්ත ව ඇති බව පෙනේ. එතුමා විසින් ඉන්දියාවේ දී "භාරතීය දර්ශනයේ පැනෙන විශ්ලේෂී සහ යථානුභූතවාදී ප්‍රවණතා" යන මැයෙන් පවත්වන ලද දේශනය සහ විවිධ භාරතීය දාර්ශනික මතවාද පිළිබඳ ව එතුමා විසින් රචිත ලිපි ලේඛන ඊට නිදසුන් ලෙස දැක්‌විය හැක.

මහාචාර්ය කේ.එන්. ජයතිලකයන් විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ තවත් විෂය ක්‍ෂේත්‍රයක්‌ වූයේ අධිමානසික විද්‍යා ක්‍ෂේත්‍රය යි. ආචාර්ය එච්. එස්‌. එස්‌. නිශ්ශංක මහතා සමග මේ පිළිබඳ ව එතුමා විවිධ පර්යේෂණවල නියෑළී ඇත. එපමණක්‌ නොව පුනර්භවය වැනි දේශීය සංස්‌කෘතිය තුළ ඇති බෞද්ධ සංකල්ප මිථ්‍යාවන් ලෙසින් අර්ථ දැක්‌ වූ හේතුවාදියකු වන ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් වැන්නන් සමග ද එතුමා වාද විවාද කර ඇත. 1960 දශකයේ දී ගුවන්විදුලියෙන් සහ ඩේලි නිවුස්‌ පුවත්පත මගින් ඒ වාද විවාද සිදුකර ඇත. "නැවත ඉපදීමක්‌ නැත" යන හේතුවාදී අදහස දැරූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග ද මහාචාර්ය ජයතිලකයෝ වාදයක්‌ කර ඇත. ඒ "අඟහරුවාදා රාත්‍රි සාකච්ඡාව" නමින් පේරාදෙණි සරසවියේ ත රාමනාදන් ශාලාවේ දී පවත්වනු ලැබූ සාකච්ඡාවක දී ය. අද එවැනි සාකච්ඡා සභා සරසවිය තුළ දක්‌නට නැත.

බුදුදහම හා දර්ශනය යන විෂයයන් පිළිබඳ ව විද්වත් පර්යේෂකයකු පමණක්‌ නොව දක්‍ෂ සිවිල් සේවා නිලධාරියකු ද වන මහාචාර්ය ජයතිලක දේශපාලන ක්‍රියාකාරිකයෙක්‌ ද විය. එතුමා ලංකා සමසමාජ පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ ව කටයුතු කර ඇත. 1970 දී සමගි පෙරමුණු රජයේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා වෙහෙසී කටයුතු කර ඇත. එල්. එච්. මෙත්තානන්ද වැනි විද්වතුන් සමග නිදහස්‌ ශ්‍රී ලංකාවට ගැලපෙන ජාතික අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසීම පිළිබඳව ද එතුමා උනන්දුවෙන් කටයුතු කර ඇත. පේරාදෙණි විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ කටයුතු සඳහා එතුමා ලබා දී ඇති දායකත්වය ද සදානුස්‌මරණීය වේ. මෙවැනි උදාර වටිනා පඬිරුවණක්‌ 1970 ජූලි 23 දා දැයට අහිමි වන විට එතුමා යන්තම් වයස අවුරුදු 49 සැපිරුවා පමණි.

සුමේධ වීරවර්ධන
කථිකාචාර්ය,
දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය

No comments: