උපුටා ගැනීම : සිළුමිණ
පසුගියදාක ඔබ කියැවූ නේරු - එඩ්විනා ‘ප්ලේටෝනියානු ආදරය’ පිළිබඳ නවමු හෙළිදරව්ව වූ ‘ඔවුන් අතර තිබුණේ ප්ලේටෝනියානු ආදරයක්’ සංලාපයේ දී එඩ්විනා මවුන්ට්බැට්න්ගේ කනිටු දුවණිය පැමෙලා මවුන්ට්බැට්න් හික්ස් ඉහත ඇලුම්කම හා සමසේ ගෙන උපමා තැබුවේ මධ්‍යගත යුගයේ නයිට්වරුන් වෙත තිබූ Chivalric Love හෙවත් ‘ශිෂ්ට ආදරය’ යන්නකි. එහෙත් ඊට එකඟ විය නොහැකි ය.
හේතුව, එකී ‘ශිෂ්ට ආදරය’ යනු එක් පාර්ශ්වයක් කුලීන ලෙස ඉහළින් තැබූවක් බැවිනි. තවද; ප්ලේටෝනියානු ආදරය’ යනු,Limerent Love පන්නයේ ඒකපාර්ශවික හෝ ද්විපාර්ශවික දෘඪ ආලයක් නොවනද හෙයිනි. එසේ ම එය Unrequitted Love වැනි වූ පෙරළා නොලද ආදරයක් ද නොවේ.
‘ප්ලේටෝනියානු ආදරය’ යනු කුමක්ද? ඊට සැකෙවින් දිය හැකි පිළිතුර වන්නේ, එය නම් ඥානාලෝකයක්මය යන්නයි. සහේතුක මානව බැඳීමකින් උද්දීප්තිමත් වූ ද සමෝසමයේ ප්‍රතිපෝෂණීයවූ ද ආත්මීය ඥානාලෝකයක්මය යන්නයි.
‘Platonic Love’ හෙවත් ‘ප්ලේටෝනියානු ආදරය’ යනු කුමක්දැයි වෙබ්ස්ටර්ගේ අර්ථකෝෂයේ මෙසේ දැක්වෙයි.
“මිනිස් මනසේ අනභිභවනීය බවට ම කැප වූ, මනසේ පරිධියෙන් ඔබ්බට නොගැලූ එසේ ම කිසිසේත් ශාරීරික ප්‍රමෝදයට ඉඩ ප්‍රස්ථා නොදුන්, විරුද්ධ ලිංගිකයන් දෙපළක් අතර පවතින පිරිසිදු, ආධ්‍යාත්මික සෙනෙහසකි” යන්නයි.
එහෙත්, ‘ප්ලේටොනික් ලව්’ නම් හැඳිනුමට මග පෑදූ ’Amor Platonicus’ යන ලතින් ඉදිරිපත් කිරීම මුලින් ම සිදුවන්නේ, පහළොස්වන සියවසෙහි ඉතාලියේ ෆ්ලොරන්ස් හි විසූ මාර්සිලියෝ නිසිනෝ (Marsilio Ficino - 1433 - 1499) නම් මානව දාර්ශනිකයා වෙමිනි. ෆිසිනෝ ජීවත්ව සිටි කාලය යුරෝපයේ පුනරුද යුගයට අයත් මුල් සමය විණි. (දහ හතර වැනි සියවසේ සිට දහහත් වැනි සිය වස දක්වා කාලය යුරෝපයේ පුනරුද යුගයයි) එබැවින් එකල නවමු ඉදිරිපත් කිරීම් සඳහා පැවැති ඉඩකඩ ඉතා සිත් ගන්නාසුළු වී ඇත. කෙසේ හෝ ෆිසිනෝ මානව දාර්ශනිකයා ‘ඇමර් ප්ලේටොනිකස්’ හැඳිනුම ඉදිරිපත් කරන්නේ එතෙක් භාවිතයේ පැවතියා යැයි සිතිය හැකි, ‘ඇමර් සොක්‍රටිකස්’ ‘Amor Socraticus’ හෙවත් ‘Socratic Love’ ‘සොක්‍රටියානු ආදරය’ යන්න මූලාශ්‍ර කොට ගෙනැයි සිතිය හැකි ය.
මිචිගන් විශ්වවිද්‍යාලයේ ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂා කථිකාචාර්යවරියක් ද, නිදහස් ලේඛිකාවක් ද වූ ලින්ඩා රැප්, ඇය මාර්සිලියෝ ෆිසිනෝ ගැන ලියූ සටහනක කියා ඇත්තේ, ‘ප්ලේටෝනියානු ආදරය’ යන හැඳිනුම කෙරෙන් ෆිසිනෝ අදහස් කොට ඇත්තේ, ආධ්‍යාත්මික වූ ද එසේ ම ශාරීරික වූ ද ආදරයක් ගැන බවයි. විශේෂයෙන් ම පිරිමි දෙදෙනකු අතර සිත් පැහැදීම කරණකොට ඇතිවන්නා වූ මෙවැනි සබඳකමක් පිරිසිදු ප්ලේටෝනියානු ආදරයක් ලෙස ෆිසිනෝ නම ලියැවිලි වූ Theologia Platonica - 1482/ Commentarius in Platonis Convivium - 1469/ De Amore - 1484 යන කෘතීන් හි සඳහන් කොට ඇත යන්නයි.
එසේ නම්, එපවත් ඇසූ පමණින් අප පෙළන හේතු කවරක් දැයි කිව යුතුම ය. එනම්; ෆිසිනෝ කියනා පරිදි නියම ‘ප්ලේටෝනියානු ආදරය’ යනු, පිරිමින් දෙදෙනකු (මෙහිදී පිරිමින් දෙදෙනකු යනු, වැඩිමහල් පිරිමියකු සහ යෞවනයකුයි) අතර ඇතිවන සිත් පැහැදීමක් ද ඉන් නතර නොවූ එතැනින් ඔබ්බට ගිය ශාරීරික සබැඳියාවක් පිළිබඳ ද කියැවෙන්නකි. එහෙත් ප්ලේටෝනියානු ආදරයට පාදම සැලසූ ‘සොක්‍රටියානු ආදරය’ කෙරෙන් නම් කියැවෙන්නේ ඊට වෙනස් තත්ත්වයකි. එනම්, ෆිසිනෝ ගේ තේරුම් කිරීමට වඩා යමක් කියැවෙන්නකි. ඒ මෙසේයි. වරක් ක්‍රිටියස් නමැති විද්වතා සහ ඉයුකයිඩෙමස් නමැති තරුණයා අතර එවන් සබඳකමක් ගැන සොක්‍රටීස් කියා ඇත්තේ, එය සූකර පෝතකයකු ගල්කුලක් පහුරු ගෑමකට සමාන බවයි.
එහෙත් මේ සියල්ල අතර ‘චාමිඩස්’’ වැනි සංවාද ලියැවිල්ලකදී ප්‍රස්තුතය ලෙස ගැනෙන චාමිඩස් නම් හුරුබුහුටි තරුණයා වෙතින් යම් අනුරාගී ආස්වාදයක් සොක්‍රටීස් පවා ලබා ඇති බව ප්ලේටෝ ගේ ප්‍රධාන ලියැවිලි අතර තැනින් තැන සඳහන්ව ඇති බව ද කිව යුතු ය. පෙඩරාස්ට් - Pedarasty ලෙස හැඳින්වූ පුරාණ ග්‍රීක හැඳිනුම, මේ ලියැවිල්ලෙන් අප ළඟාවීමට වැර දරන ‘ප්ලේටෝනියානු ආදරය’ නම් ප්‍රස්තුතයේ මූල බීජයයි.
‘පෙඩරාස්ටි’ යනු පුරාණ ග්‍රීසියේ පැවැතියා වූ පොදු සමාජ අවිඥානික ගිවිසුම් තත්ත්වයකි. එනම්, එකල ජන සමාජයේ ජීවත්වූ පිරිමින් තම ජීවිතයේ සියලු එදිනෙදා කටයුතු ද, ශාස්ත්‍රීය කියුම් කෙරුම් ද, කෙළි සෙල්ලම් ද අතරමැද කේන්ද්‍රීය ලෙස ළඟාවිය යුතු වූ ජීවිත පරිඥානය පිළිබඳ පැවතියා වූ පොදු අවිඥානික සමාජ කොන්දේසියයි. තවත් වටයකින් කිවහොත්, පිරිමියකු නිකම් ම නිකං වියපත් වීමකින් තොර ව ඥානවෘද්ධතාව සපුරා ගනිමින් ම තම ළමා වියෙන් යෞවනයටත්, කෙළිලොල් යෞවනයෙන් පැසිවියටත් එළැඹීමයි.
පිරිමියකුගේ පෞරුෂත්වය මෙසේ පූර්ණත්වයට මුහුන්වීමේදී ලෝකය පිළිබඳ මෙන් ම මනුෂ්‍ය ජීවිතය ගැන තමාට වඩා මෝරා වැඩී ගිය එකකු වෙතින් ඓන්ද්‍රීය ව අවබෝධ කරගැනීම පෙඩරාස්ටි අවිඥානික සමාජ සංකල්පයේ මූලික බලාපොරොත්තුව ලෙස හඳුනාගත හැකි ය. එහෙත් එතැනේ දී ‘පෙඩරාස්ටි’ වදන නිමැවී ඇති pais හෙවත් Teen(යෞවනයා) සහ Erastes හෙවත් Matured (වෘද්ධයා) යන වචන දෙපස කෙරෙන් ඉන්තේරුවෙන් ම හෙළිදරව් විය යුත්තේ ෙලෙංගික ආකර්ෂණයක් ම හෝ ඉඳුරන් සැනහීමක් ම නොවන වග වටහා ගැනීම මෙහිදී අතිශයින් තීරණාත්මක ය.
එකී වටහා ගැනුම වෙත ළඟාවීමට නම් අප තේරුම් ගත යුතු වූ යම් ප්‍රබල සාධකයක් දැන් මතු ව ඇත. එනම්, යම් පුද්ගලයකු තවත් අයකු වෙත සිත් බැඳී යන්නයි. එහි දී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව, අයකු තවත් තැනැත්තකු වෙත සිත් බැඳීයාම ෙලෙංගිකත්වය ම පෙරදැරි ව සිදුවන්නකැයි කියා නිගමනය කිරීම පුස්සක් බව ඒත්තු ගැන්වීමෙන් පමණක් මෙම ලියැවිල්ලෙන් ප්‍රකට කැරවීමට උත්සාහ දරන දාර්ශනික එළැඹුම සාර්ථක වනු ඇත.
එතැනේදී මුලින් ම සලකා බැලිය යුතු වන්නේ ස්ත්‍රී පුරුෂ වේවා කුඩා දරුවකු තුළ තම බාලවයස් සමයේ හිත් ආලෝලනය කැරවන තමා සිත් ගත් ‘වීරයා’ ගේ සංකල්පීය සිත් වසඟයයි. (මෙහිදී මෙම ලිවීම දාර්ශනිය පිවිසුමක් බැවින් මීට වෙනත් පසෙකින් අදාළ වන කාල්යුන්ග් සහ සිග්මන් ෆ්‍රොයිඩ් හට ඈඳන මනෝවිශ්ලේෂණාත්මක කියැවීම් නොසලකා ඇති බව සැලකුව මනා ය.
Freud’s Platonic Leonardo By John Farrel) ඉහත කී සිත් වසඟයේදී ග්‍රීක පුරාණයේ සඳහන් ‘පෙඩරාස්ටි’ නම් වූ අවිඥානික සමාජ සංකල්පය මීට අදාළ වන්නේ, ප්‍රධාන වශයෙන් මැ දැනුම්වත් වීමේ, අධ්‍යාපනික ආරේ ක්‍රියාවලියක් මූලාශ්‍ර කොට ගෙනයි. එහිදී, යම් ගැටවරයකු තමා නැණසට වීරයකු ලෙස පෙනෙන යම් වැඩිහිටි චරිතයක් තමාගේ වීරයා ලෙස සැලැකීම සිදු වන අතර එකී පරමාදර්ශී චරිතය වෙනුවෙන් තම හෘදයාංග ම ආදරය සහ කැපවීම ප්‍රසිද්ධියේ කියාපෑම ද සිදුවෙයි.
එහෙත් මෙම සිත් බැඳීමට ෙලෙංගිකත්වය කෙසේ අදාළ වන්නේද? හෝ නොවන්නේද? යන්න පැහැදිලි කැරගත හැක්කේ කෙසේද? ප්ලේටෝ ගේ ”සිම්පෝසියම්” කෘතියෙහි පැහැදිලි ව සඳහන් වන පරිදි මෙහි පෙර සඳහන් වූ අයුරේ ගැටවර චරිත බොහෝවිට තමා ආසක්ත වූ වැඩිහිටි පිරිමින් සමඟ යම් ශාරීරික දැවටුමක නියැළී ඇත. Platonic Love - ඉරොමෙනෝස් යන හැඳීනුමෙන් එකල හැඳින්වූ එවන් ගැටවරයන්ට අදාළව ‘පෙඩරාස්ටි’ නම් වූ අවිඥානක ග්‍රීක සමාජ සංකල්පය සමඟ කෙතෙක් දුරට එහි ප්‍රධාන සංකල්පීය අරුත පෑහුනේද යන්න මේ රචනාව ලියන මා මතු කරන ගැටලුවකි.
කෙසේ හෝ මෙහි ඊට අදාළ ව අපට ගෙන විග්‍රහ කැර ගත හැකි යම් තීරණාත්මක සීමාවක් නිර්මාණය කොට ගත හැකි ය. එනම්, මා මෙම රචනාවේදී මුලින්ම ඉදිරිපත් කළ වෙබ්ස්ටර් ශබ්දකෝෂයේ ඇති ‘ප්ලේටොනික් ලව්’ පිළිබඳ ලියැවුණු නිර්වචන සටහනයි. එහි ඉතා අවධාරණිකව කියැවෙන්නේ, ර්‍ථතචබධදඪජ ඹ්ධමඥ - ප්ලේටොනියානු ආදරය යනු, කිසිවිටෙක ශාරීරික තෘප්තිය අභිමතය කැරගත් ලෞකික ගණයේ සබඳතාවක් නොවන බවත්, එසේ ම තවත් අයුරකින් එය විරුද්ධ ලිංගික දෙපසක් අතර ඇතිවන ආධ්‍යාත්මික ආරේ ස්නේහයක් බවයි. එබැවින් එතැන කියැවෙන කරුණු දෙකක් මූලික වශයෙන් තීරණාත්මක ය. පළමුවැන්න; ‘ප්ලේටෝනියානු ආදරයක්’ යනු, කිසිවිටෙකත් ශාරීරික, ෙලෙංගික සබඳතාවක් නොවන බවයි. දෙවැන්න, හැමවිටම ‘ප්ලේටෝනියානු’ සෙනෙහසක් ඇතිවිය හැක්කේ විරුද්ධ ලිංගික දෙපසක් අතර ම පමණක් බවයි.
ඒ අනුව බලන කල නම්; මීට ඉහතින් මා විස්තර විග්‍රහ කළ, පුරාණ ග්‍රීසියේ ‘පෙඩරාස්ටි’ නම් වූ අවිඥානික සමාජ සංකල්පය පාදමක් ලෙස අතුරා ඒ මත ගොඩනැඟී තිබුණා වූ යෞවන පුරුෂයකු හා වෘද්ධ පුරුෂයකු අතර ආධ්‍යාත්මික වූ ද එසේ ම ශාරීරික, ලිංගික විය හැකි වූ ද සබඳකම එකකි. එසේ ම; ශාරීරිකත්වය හෝ ලිංගිකවත්වය පිටුදුටු තවද සමාන ලිංගිකත්වය ද බැහැර කළ මුළුමනින්ම ආධ්‍යාත්මික වූද, විෂම ලිංගික වූ ද සබඳකම තවෙකකි.
එහෙත් මේ පළමුවැන්න සහ දෙවැන්න යන කාරණාද්වයෙන් මැ කියැවෙන දේ ඉඳුරා ම අප ප්‍රස්තුතය වූ ‘ප්ලේටෝනියානු ආදරයට’ ඓන්ද්‍රීය ලෙස ම බද්ධ බැව් කී විට ඔබ විමතියට පත් විය යුතු ද නැත. ඒ එකී සබඳකම් දෙපසින්ම තීරණාත්මක අයුරින් ඔප් නැංවෙන කේන්ද්‍රීය සාධකය එකිනෙකින් වෙනස් වූ අනෙකක් නොවී එකම එකක් වීම නිසාවෙනි. එය කුමක්ද? එය නම්,Human Bonding හෙවත් මානව බැඳියාවයි.
ප්ලේටෝගේ ’සිම්පෝසියම්’ කෘතියේ සඳහන් පරිදි එම සංවාදයේ එක් චරිතයක් වන අයක්සිමකස් වෙතින් ප්‍රකාශ වන්නේ, ‘ආදරය’ යනු මානවයන් දෙදෙනකු අතර ඇතිවන හුදු අයුරේ අන්‍යොන්‍ය පිටස්තර පෙනුම හෝ සෞන්දර්ය පිට පැටවුණු ඇලී ගැලීමක් නොව, එය ඉන් ඔබ්බට ගමන් කළ විශ්වීය අරුතක් ඇති යමක් බවයි. ඒ සඳහා ඔහු ගෙනහැර දක්වන නිදසුන වන්නේ, “වියළි කර්කශ බව සහ සිහිල් තෙතමනය නම් දෙපස සම්මුඛ වූ විට එකී දෙපාර්ශවය එකිනෙකා හා බැඳෙන්නේ අසීමිත වූ සෙනෙහසකින් බවයි.” එහෙත්, අයක්සිමාකස් තවදුරටත් විග්‍රහ කරන පරිදි, ඉහත කී ඉතා සංයමයෙන් යුතු වූ සමෝසම මුහුවීම පදම ඉක්මවා ගිය කල ඉන් සිදුවිය හැක්කේම විනාශයක්ම බවයි.
මේ ප්‍රස්තුත සංවාදයේදී ඔබ, මා ඇතුළු සෑම සියලු දෙනාම පෙළන එක් ප්‍රබල සාධකයක් මඟහැර යාම නම් කළ නොහැකි ය. එය නම්, ෙලෙංගිකත්වයයි. එතරම් තීරණාත්මක, මානව දිවි අවියෝජනීය, බැහැර කළ නොහැකි වූ මෙම ලිංගිකත්වය පිළිබඳ කාරණය උපක්‍රමශීලීව මඟහැර දමා කෙසේ නම් ප්ලේටොනික් ආදරය මේ යැයි ප්‍රත්‍යක්ෂ කැරවන්නද? මේ රචනාව මහත් වෙහෙසකින් ගොනු කරන මා ඉදිරියේ ඇති බලවත්ම අභියෝගය එයයි. ඒ සඳහා මෙතැන් සිට ඊට දෙස් දෙන’යුරින් න්‍යායික තොරතුරු ද ලෝක සාහිත්‍ය කලා විෂය ඇසුරේ උදුරා දැක්විය හැකි යම් නිදසුන් ද ප්‍රබන්ධ නොවූ දේ ද සංක්ෂිප්ත ව පෙළගස්වමින් ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙහි දී මේ සඳහා මා මුලින් ම යොදා ගන්නේ ක්‍රි.පූ.පළමු ශත වර්ෂයේ ජීවත්වූ රෝම කාව්‍යක්කාරයකු වූ කැටුලස් (Catullus ක්‍රි.පූ. 84-54) තම ආධ්‍යාත්මික පෙම්වතිය ලෙස තෝරා ගෙන සිටි ක්ලෝඩියා මිතෙලි වෙත කිසිදා අප්‍රකාශිත ආදරය කැටි වූ ඔහුගේ ලිවීම් පිළිබඳ ඉංග්‍රීසි ජාතික කවියකු වූ ඒබ්‍රහම් කවුලි කරන විග්‍රහයයි. එතැනේදී එය හැඳින්වෙන්නේ, Unrepuitted Love හෙවත් ’පෙරළා නොඉල්ලූ ආදරය’ හෝ ’පෙරළා නොලැබුණු ආදරය’ ලෙසයි. නමුත් මෙහිදී අප ප්‍රස්තුත කරුණ වූ ‘ප්ලේටොනික් ආදරය’ සහ ‘පෙරළා නොලද ආදරය’ අතර වෙනසක් ඇති බව ඔබ තේරුම් ගත යුතුªය.
එබැවින් වික්ටර් හියුගෝ ගේ ‘නොත්‍රදාමයේ කුදා’ ‘The Hunchback of Notre Dame’ ප්‍රබන්ධයේ (183p)ක්වාසිමොඩෝ නම් විරූපී පුද්ගලයා සහ ඔහුගේ ආදරයට පෙරළා නොලැබුණු ආදරය වූ එස්මරල්ඩා නම් තරුණිය අතර සබඳතාව කිසිසේත්ම ප්ලේටෝනියානු ආදරයක් නම් නොවනු ඇත. හේතුව, ක්වාසිමොඩෝ සහ එස්මරල්ඩා අතර කිසිදිනෙක ද්විපාර්ශවීයව එවැනි ආදරයක් සම්මත වී තිබූ නැති හෙයිනි.
එසේ ම, පශ්චාත් නූතන යුගයේ ප්‍රබන්ධකරුවකු වන කොළොම්බියානු ජාතික ගාර්ෂියා මාකේස් ලියූ ‘Love in the Time of Cholera’ හි ෆර්මිනා දාසා නම් තරුණිය වෙත නව යොවුන් වියේ සිට සෙනෙහස පාන ෆ්ලොරන්ටිනෝ අරීසා නම් තරුණයාගේ ආදරය ද එවැනි ම වූ අයුරේ පරාජිත ප්‍රේමයක් මිස ප්ලේටෝනියානු ආදරයක් නම් නොවේ.
ආදරය, සෙනෙහස හෝ බැඳීම පිළිබඳ මේවා අතර ඇති සියුම් වෙනස ප්‍රායෝගික අයුරින් වටහා ගැනීමට උපකාරී වන අනගි ඉදිරිපත් කිරීමක් ඩොරති ටෙනොව් නම් ඇමෙරිකානු ජාතික මනෝ විශේෂඥවරිය 1979 දී තම ’Love and Limerence’කෘතියෙන් එළිදක්වා ඇත. මෙහිදී; ‘ලිමරන්ස්’ යනු, තමාගේ පාලනයෙන් තොරවූ ප්‍රබල රෝමාන්තික ආකර්ෂණයකි. එහිදී තමාට තමන් ආදරය කරනා අනෙක් පුද්ගලයා අහිමිවේය යනු අස්ථාන බිය උක්ත චරිතය නිරන්තරව පීඩාවට පත් කරනු ඇත. එසේනම් එවැනි ආදරයක් කිසිවිටෙකත් ප්ලෝටොනියානු ආදරයක් නම් නොවනු ඇත.
ආදරය, සෙනෙහස හෝ බැඳීම පිළිබඳ මේවා අතර ඇති සියුම් වෙනස ප්‍රායෝගික අයුරින් වටහා ගැනීමට උපකාරී වන අනගි ඉදිරිපත් කිරීමක් ඩොරති ටෙනොව් නම් ඇමෙරිකානු ජාතික මනෝ විශේෂඥවරිය 1979 දී තම ’Love and Limerence’ කෘතියෙන් එළිදක්වා ඇත. ටෙනොව් තම කෘතියෙන් පවසන පරිදි ආදරයේ මූලික වෙස් තුන් අයුරකින් දැක්විය හැකියි. එනම්;Limerent + Limerent හෙවත් දෙපසම සාතිශය හැඟීම්බර වීම.
Limerent + Non- Limerent හෙවත් එක් පාර්ශවයක් පමණක් එසේ හැඟීම්බරව උමතුවීම හෝ දෙපාර්ශවය ම එසේ ආවේගශීලී නොවී ශාරීරිකත්වය පසෙකලා ආධ්‍යාත්මික අයුරින් සෙනෙහස පෑම හෙවත් Affectional Bond ය. එසේනම් අපගේ ප්ලේටෝනියානු ආදරය මැයට අදාළ වන්නේ ටෙනොව් මැතිනිය ඉදිරිපත් කරන පරිදි සෙනෙහසේ බැඳීම හෙවත් ‘ඇෆෙක්ෂනල් බොන්ඩ්’ ය. එහිදී කිසිවකු අනෙකාගෙන් තම ආදරය වෙනුවෙන් කිසිවක් අපේක්ෂා නොකරයි.
එමතු එතැනේදී ආදරය පෑම යනු, එකිනෙකාගෙන් අනෙකා ආධ්‍යාත්මිකව පෝෂණය වීමයි. එහිදී ආධ්‍යාත්මික ව පෝෂණය වීම යනු; ආදරය, සෙනෙහස, සැනසීම වැනි ලෞකික කාරණා පාර්ශවයෙන් ද එසේ ම දැනුම, ජීවිතාවබෝධය සහ ආත්මීයතාව ද කෙරෙන් ද පොහොසත් වූ පෝෂණයක් වීමයි.
’ද රිපබ්ලික්’ කෘතියේ ප්ලේටෝ ගෙන එන සොක්‍රටීස් ගේ අදහසක් යැයි කියූ නමුත් ප්ලේටෝගේ ම බිණීමක් වූ ‘Metaphor of The Sun’ හෙවත් සූරිය රූපකයට අදාළ පෙන්වාදීම ඔබගේ මතකයට නංවමින් මෙම ලිවීම හමාර කරමි. එනම්, එහි සඳහන් පරිදි, අඳුරේ සිටින සත්වයාට සූරිය උදාව යනු ඥානාලෝකය පහන් කැරවීමකි. එහෙයින්, සූර්යයා වෙතින් ලබන ආලෝකය වන් වූ ඥානාලෝකයක් ප්ලේටෝනියානු ආදරය බෙදා හදා ගන්නා දෙපසක තිබෙන බවයි හෝ තිබිය යුතු බවයි. එසේ නම්, මෙම ලිවීමට මඟපෑදූ ජවහර්ලාල් නේරු සහ එඩ්විනා මවුන්ට්බැට්න් අතර පැවතියා යැයි කියැවෙන, පසුගිය ලියැවිල්ලකින් ඔබ කියැවූ, ප්ලේටෝනියානු ආදරය ඉතාමත් සුවිශේෂ වූ තත්ත්වයේ මානව සබඳතාවක ස්වරූපයක් බව දැන් පැහැදිලි ය.
ඒ අනුව, නේරු වෙතින් එඩ්විනා ද එඩ්විනා වෙතින් නේරු ද ආත්මීය වශයෙන් ජීවිතාලෝකය ලැබූ බව අප දත යුතු ය. එවන් අයුරේ ඉහළ මානව සබඳතාවකට ස්ත්‍රී පුරුෂ භේදය හෝ කාමෝද්දීපන ෙලෙංගිකත්වය කිසිම ලෙසකින් මඟ අවුරන්නේ නැති බව වටහා ගැනීමට පවා අවශ්‍ය දියුණු මානසිකත්වයක් අප කීයෙන් කීදෙනෙකුහට ඇත්දැයි යන්න පවා සිතාබැලිය යුතු ගැටලුවකි.
No comments:
Post a Comment