ග්‍රීකයන්ගේ න්‍යායානුකූල සාහිත්‍ය විචාරය ආරම්භ වන්නේ ඇරිස්‌ටෝටල්ගෙනි. එහෙත් ඊට පෙර සිටම ක්‍රමවත් විවේචනයක් ආරම්භවෙමින් පැවැතුනේය. මෙයට නිදසුන් වශයෙන් ඇරිස්‌ටෝපෙන්ස් "ප්‍රොග්ස් (Fරදටි) නමැති කාව්‍යයෙන් ඊස්‌කිලස් හා යුරිපිඩ්ස් යන ශෝකාන්ත නාට්‍යකරුවන් දෙදෙනා විවේචනය කිරීමත්, ප්ලේටෝගේ කෘතිsවල ඇති කාව්‍ය විවේචනත් පෙන්විය හැක.
ප්ලේටෝගේ කාව්‍ය විවේචනය සදාචාරාත්aමකය, දාර්ශනිකය, දේශපාලනාත්මකය. ඔහුට පෙරද හෙරක්‌ලිටස් හා සෙනොපෙන්ස් කාව්‍යය සදාචාරාත්මකව විවේචනය කළහ. එහෙත් ඒවායේ එතරම් දේශපාලන ස්‌වරූපයක් නොමැත. ප්ලේටෝගේ කාව්‍ය විවේචන සදාචාරාත්මක හා දාර්ශනික වුවත්, ඒවායේ රටාව දේශපාලන අරමුණක් ඇතිව පිළියෙල කොට ඇති බව "ලෝස්" (ඛ්අs) හා "රිපබ්ලික්" (Reචමඉකසජ) යන කෘතිවලින් පෙනේ.
ප්ලේටෝ සාහිත්‍ය විචාරය ඉදිරිපත් කරන්නේ දෙබස් මගිනි. එහෙයින් ඔහුගේ අදහස් අවබෝධ කර ගැනීම ඉතාමත් අසීරුය. එක් එක් අවස්‌ථාවලදී ඉදිරිපත් කරනු ලබන තර්ක ඒ ඒ තැන්වල විනා වෙනත් තැන්වලදී ඒවා විසංවාදී වීම මෙයට හේතුවයි. ප්ලේටෝ ජීවිතය ආරම්භ කළේ කවියකු ලෙසය. ඔහු මිත්‍රයකුට ලියමින් තමා සොක්‍රටීස් මුණ ගැසීමෙන් පසුව තම සාහිත්‍ය කෘතීන් ඉරා දමා දර්ශනයට සහභාගිවී සත්‍ය ගවේෂණයට පෙළඹුණු බව ප්‍රකාශ කරයි. ඔහුද කවියකු මෙන් සිටි නිසා කවියාගේ අනුභූතිය හොඳින් දනී.
ප්ලේටෝ තම කාව්‍ය විවේචනවලින් බෙහෙවින් පහර දුන්නේ හෝමර්ට හා හෙසියඩ්ටය. (මොවුන් පැරණි ගී්‍රක මහා කවියන් දෙදෙනෙකි.) ඔවුහු කාව්‍යය දේවානුභාවයෙන් ඇති වන දෙයක් යෑයි විශ්වාස කළහ. ප්ලේටෝ ඔවුන්ගේ දේවානුභාවය තියුණු ලෙස දෝෂදර්ශනයට ලක් කළේය. "මම ටික කලකදී කවීන් පිළිබඳ මේ කරුණ සොයා ගතිමි. ඔවුන් කාව්‍යකරණයෙහි යෙදෙන්නේ විචාර බුද්ධියෙන් නොව එක්‌තරා ස්‌වාභාවික ආනුභාවයකිනි. (භ්එමර්ක ෂබිචසර්එසදබ) ඔවුන් එය කරන්නේ දේව බැල්මකින් නැතිනම් අනාගතවක්‌තෘ කෙනෙකු මෙනි. ඔවුහු තමන් ප්‍රකාශ කරන දෙයෙහි අර්ථයක් නොදනිති. (ඡක්‌එද - aචචදකදටහ 22C) ඡේදයෙන් ප්ලේටෝ කවීන්ගේ ප්‍රකාශන අර්ථ ශූන්‍ය පාඨ ලෙස පෙන්නුම් කරයි. "සියලුම ශ්‍රේෂ්ඨ කවීන් තම කෘතීන් කරන ලද්දේ තම ශිල්පීය ඥනයෙන් නොව ඔවුනට ආරූඪව ඇති දේවමය ආනුභාවයකිනි....... කාව්‍යය ආලෝකයකිá අත් තටු ඇත්තකිá ශුද්ධ වස්‌තුවකි. දෙවියන් ආරූඪ වීමෙන් තොරව හෝ විචාර බුද්ධිය ඔහු තුළ තිබෙන තාක් ඔබට කවියකු විය නොහැක. මෙයට හේතුව ඔවුන් කාව්‍යකරණයෙහි යෙදෙන්නේ ශිල්පීය ඥනයෙන් නොව දේවමය වරප්‍රසාදයකින් වීමය. සෑම කෙනෙකුටම කාව්‍යකරණය කළ හැක්‌කේ "මියුස් අප්සරාව" ඔවුන්ට දෙන ආනුභාවයේ ප්‍රමාණය අනුවය...... දෙවියෝ ඔවුන්ගේ විචාර බුද්ධිය අනාගතවක්‌තෘවරුන්ගේ මෙන් ඉවත් කරති. ඒ අනුව කථා කරන්නේ ඔවුන් නොවේ. දෙවියන්ය. (ඛ්අs 534) "මියුස් අප්සරාවගේ" ත්‍රිපාද ආසනයේ කවියා වාඩිවූ විට ඔහුගේ ප්‍රකෘති සිහිය නැතිවෙයි. (ඛ්අs 719 C) මියුස් අප්සරාවගේ පිස්‌සුව ආරූඪ නොකරගෙන කාව්‍ය දොරට යමකු තට්‌ටු කරන්නේ නම් ඔහු කාව්‍යකරණයෙහි පරිපූර්ණ තැනැත්තෙක් වෙයි. එහෙත් ඔහු කනස්‌සල්ලට පත්වෙයි. මෙයට හේතුව ඔහු සිහිකල්පනාවෙන් සිටින විට පිස්‌සුවෙන් කරන නිර්මාණ කිරීමට බැරි නිසාය." (ඡය්edරමි)
මේ පාඨවලින් පෙනීයන්නේ කාව්‍ය කරන්නේ ප්‍රකෘති සිහියෙන් නොවන බවත්, මානසික ආබාධයකින් යුතුව කරන්නක් බවත් ප්ලේටෝ අදහස් කළ වගය. මේ අනුව ඔහු කාව්‍යකරණය පිළිබඳ ප්‍රකාශන පිස්‌සන්ගේ කාර්යයක් හැටියට සලකයි. තමා කරන්නේ කුමක්‌ද යයි පිස්‌සාගෙන් ඇසූ විය එය විග්‍රහ කිරීමට ඔහුට නොහැකිය. කවියා කාව්‍යයෙන් තමා අදහස් කරන්නේ කුමක් දැයි ඇසූ විට පිස්‌සු උත්තර ඉදිරිපත් කරන බව ප්ලේටෝ අදහස් කරයි. එමෙන්ම එයට ශිල්පීය ඥනයක් අනවශ්‍ය බවත්, එවැන්නක් තිබෙන කෙනෙකුට දක්‍ෂ කවියකු විය නොහැකි බවත් ප්‍රකාශ කරයි.
ප්ලේටෝ සාහිත්‍යයේ මිණුම් දණ්‌ඩ ගෙන කාව්‍යය විවේචනය කරයි. එය දර්ශනාත්මක මිණුමකිá ඥන විභාගික මිණුමකි. "අප විනිශ්චය කළ යුත්තේ වෙන කිසිවක් අනුව නොව සත්‍යයේ ප්‍රමාණය අනුවය."(ඛ්අs 667) යයි ප්ලේටෝ ප්‍රකාශ කරයි. සාමාන්‍ය ග්‍රීකයා කවියා සත්‍යය ප්‍රකාශ කරන අයකු ලෙස සැලකුවේය. එහෙත් කවීන්ගේ කියමන් එකිනෙකට විසංවාදී වන බැවින් ඔවුන් වෙතින් සත්‍යය හැදෑරීම ආරක්‍ෂා රහිත යයි ප්ලෝටෝ තර්ක කළේය. "සත්‍යය ලස්‌සනයá නොවෙනස් වන්නේය. ප්‍රපංච ලෝකය වෙනස්‌වන සුළු බැවින් එහි ඇත්තේ විශ්වාසයක් විනා සත්‍යයක් නොවේ. කවියාගේ අනුභූතීන් ප්‍රපංච ලෝකයේ ඇති දෑ බැවින් ඔහු සත්‍යය නොදනී යයි තවත් අයුරකින් ප්ලේටෝ තර්ක කරයි. එමෙන්ම කවියා ප්‍රපංච ලෝකය අනුකරණය කරයි. අනුකරණය ස්‌වභාව ධර්මයට කැඩපතක් ඇල්ලීමක් යෑයි ප්ලේටෝ විවේචනය කරයි. මෙම ස්‌වභාවධර්මයට අයත් වන්නේ ප්‍රපංච ලෝකය බැවින් එය වෙනස් වන සුළුය. එහෙයින් අනුකරණය යමක තථ්‍ය ස්‌වරූපය නොවේ. මේ අනුවද කාව්‍යයේ සත්‍යය ඉතාමත් පහත් බව පෙන්වා දෙයි. වස්‌තූන්ගේ නිර්මාපකයන් තිදෙනෙක් ඇතැයි ඔහු රිපබ්ලික් කෘතියෙහි දක්‌වයි. එනම් දෙවියන්, ශිල්පියා හා කලාකාරයා යනුවෙනි. කවියාද කලාකාරයාගේ ගණයට වැටේ. දෙවියෝ ලොව ස්‌වාභාවික වස්‌තූන් නිර්මාණය කළහ. ශිල්පියා එය බලා තම කෘතීන් නිර්මාණය කරයි. කවියා කවියෙන් වස්‌තූන් තිබෙන අන්දමට නිර්මාණය නොකොට පෙනෙන අන්දමට නිර්මාණය කරයි. පෙනීම වස්‌තුවේ නියම ස්‌වරූපය නොවන බව ප්ලේටෝ තර්ක කරයි.
"රිපබ්ලික්" නම් ග්‍රන්ථයේ දහවැනි පොතෙහි ජලය තුළ තිබෙන කෝටු කෑල්ලක් වක්‍රව පෙනෙන බවත් එය ජලයෙන් ගොඩට ගත් විට සෘජුව පෙනෙන බවත් ප්‍රකාශ කරමින් පෙනීම තථ්‍ය ස්‌වරූපය නොවන බව කියමින් තම තර්කය සනාථ කරයි. මේ අන්දමට වස්‌තූන් නොයෙක් අන්දමට පෙනෙන නිසා පෙනීම මායාවක් බව අවසානයේ ප්ලේටෝ නිගමනය කරයි. කවියා මේ අනුව පාඨකයාට මායාවක් ඉදිරිපත් කරනවා විනා වස්‌තූන්ගේ තථ්‍ය ස්‌වරූපයක් ඉදිරිපත් නොකරන බැවින් ඔහු පසු පස යැමෙන් තමන් නොමඟ යෑවෙන බව ප්ලේටෝ ප්‍රකාශ කරයි. එමෙන්ම කලාව සොම්නස පමණක් දී සත්‍යය නොදෙන්නේ නම් එය ක්‍රීඩාශීලී දෙයකි. එහි ඒ අනුව අගයක් නොමැත.
මෙම නිගමනයට ඔහු හෝමර් නම් කවියා ඉදිරිපත් කරයි. "හෝමර් යුද්ධය පිළිබඳවත් පාලනය පිළිබඳවත් ලියුවේය. එහෙත් ඔහු දේශපාලනඥයෙක් හෝ සේනාධිපතියෙක් නොවේ. ඒ නිසා ඔහු ලියා ඇත්තේ තමා අනුභූතියෙන් ලත් සත්‍ය සිද්ධීන් නොව සෙවනැලි ආකාර ඡායා මාත්‍ර රූපය" යෑයි ප්ලේටෝ කියයි. මෙයින් ලැබෙන සොම්නස මායාත්මක විනා සත්‍යය දෙයක් නොවේ යයි ඒ අනුව නිගමනය වේ. ප්ලේටෝට අනුව සාහිත්‍යයෙන් සත්‍යයට ළඟා විය නොහැක. එයට ළඟා විය හැක්‌කේ දර්ශනයෙන්ය. එයට දුෂ්කර වූ ගණිතමය හා අපෝවවාදි පුහුණුවක් අවශ්‍යය. අපේ පරමාර්ථය විය යුත්තේ සත්‍යයට ළඟාවීමට නම් කාව්‍යයෙන් එයට කිසිදු පිළිසරණක් නොමැති බව මෙයින් නිගමනය වේ. ප්ලේටෝගේ සත්‍යයේ මිණුම් දණ්‌ඩ කාව්‍යයට අනුව විග්‍රහ කරන ඊ. ඒ. හැව්ලොක් කාව්‍යය සත්‍යයේ සතුරා ලෙසටත් මනසට වසක් හැටියටත් ප්ලේටෝ විසින් පෙන්වන්නේ යයි ( ඡරුෙaජැ ඡක්‌එද EගAග Haඩැකදජන) ප්‍රකාශ කරයි. අපට කාව්‍යය සෞන්දර්යාත්මක අනුභූතියක් වූවත් ප්ලේටෝට එය අධ්‍යාත්මික වස වර්ගයක් විය.
ප්ලේටෝ කාව්‍යය සෑම අංශයකින්ම නිරීක්‌ෂණයට ලක් කරයි. සදාචාරාත්මකවද ඒ දෙස බලයි. එවකට කවියන් විසින් රචිත කවි ගෙන ඒවායේ ඇති නිහිනත්වය පෙන්නුම් කරයි. "මළ මිනිසුන් ජීවත්වන රාජ්‍යයේ රජකම ලැබෙනවාට වඩා මා කැමැතියි ඉඩමක් නැති මිනිසකුගේ ගෙහි අඩවහලෙකු වීමට (ඔඩේසි) දුම් රොදක් මෙන් ප්‍රාණය විලාප දොඩමින් පාතාලයට ගියේය. (ඉලියඩ්) මෙවැනි කාව්‍ය පාඨ ප්ලේටෝ "රිපබ්ලික්" කෘතියෙහි ඉදිරිපත් කරමින්, එයින් මිනිසුන් බියට පත්වී සදාචාරයෙන් පහත් තත්ත්වයකට පත්වන බව ප්‍රකාශ කරයි. එම කෘතියේම දෙවියන් සදාචාරයෙන් පහත් කොටසක් හැටියට කවින් විසින් පෙන්වන බව මෙම පාඨ ඉදිරිපත් කරමින් ප්ලේටෝ තම ප්‍රකාශනය සනාථ කරයි. "සුස්" (Zeමි) නම් දෙවියා දෙවිවරුන් හා මිනිසුන් නිදා සිටියදී නැඟිට සිටියේය. ඔහුගේ මනසෙහි බලාපොරොත්තුවක් ඇතිවිය. ආශාව වැඩිවෙන විට එය අමතක කිරීම පහසු කාර්යයක් නොවේ. හේරා නම් දෙවඟනගේ රූපය දැක, ඒ මොහොතේම ඈට ආලය කිරීමට ඔහුට අවශ්‍ය විය. ගේ ඇතුළට නොගොස්....... (මෙහි සුස් (Zeමි) වශයෙන් පෙන්නුම් කරන්නේ ග්‍රීකයන්ගේ ප්‍රධාන දෙවියෙකි) මෙවැනි දූෂිත ද දෙවියන් විසින් කරන බව කවියා පාඨකයාට කීමෙන් එක් අතකින් ඔහු තුළ ඇති දේව භක්‌තිය හීන වේ. එහෙත් මෙහිදී ප්ලේටෝ මේ පිළිබඳ කවියාට කරන බලවත් චෝදනාවක් වේ. එනම් මෙවැනි පාඨවලින් පාඨකයා කාම රාගයෙන් බලවත් ලෙස කුල්මත් කරවන බවය. සාහිත්‍ය කෘතීන් බාලයන්ගේ අධ්‍යාපනයට උපයෝගී කර ගන්නා බැවින්, මේවා කියවන බාලයන්ගේ චරිත දූෂණය වන බව ප්ලේටෝගේ අදහසය. යම් නිවසක් විනාශ කිරීමට දෙවියන් කල්පනා කරන්නේ නම් එම නිවසේ සිටින මිනිසා තුළ වරද රෝපණය කරයි. යන රිස්‌කිලක් ගේ පාඨයක් ගෙන, මෙවැනි පාඨ කියවීමෙන්, දෙවියන් පිළිබඳව කෝපයක් පාඨකයා තුළ ඇති වෙන බව ප්ලේටෝ විස්‌තර කරයි. ප්ලේටෝට අනුව දෙවියන් නිර්වචනයෙන්ම යහපත් විය යුතුය. එමෙන්ම දෙවියන්ගෙන් කිසිදු නපුරක් පැමිණිය නොහැකිය.
ඇරිස්‌ටෝටල් සහ ප්ලේටෝ
ප්ලේටෝ කාව්‍යයන් වර්ග කොට ඒ දෙස තම දෘෂ්ටිය හෙළයි. ඒ අනුව කාව්‍යයේ වර්ග තුනකි. ප්‍රකෘති කථනය විකෘති කථනය හා මිශ්‍ර කථනයයි. ශෝකාන්ත හාස්‌යෝaත්පාදක ප්‍රකෘති කථනයට අයත්ය. ප්‍රකෘති කථනයේදී කවියා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ඉදිරිපත් කරයි. මිශ්‍ර කථනය ප්‍රකෘති, විකෘති කථනයෙන්ගේ මිශ්‍රණයෙන් සෑදී ඇත." (රිපබ්ලික්) කථනය ඕනෑම මාධ්‍යයකින් යෙදුවාට ප්ලේටෝට අනුව දෝෂයක් විය නොහැක. එහෙත් ඒ මගින් සදාචාරයට හානියක් පැමිණේ නම් එය අස්‌කළ යුතු බව කියයි. සාහිත්‍යාංගයන් අතරෙන් චරිතයට බොහෝ ලෙස නාට්‍යය බලපාන බව ඔහුගේ අදහස විය. පහත් චරිත රඟ දක්‌වන පාත්‍ර වර්ගයාත් ඒවා නරඹන ප්‍රේක්‍ෂකයාගේත්, චරිතයන් සදාචාරයට පහත් වන බව ප්ලේටෝ විශ්වාස කරයි. ගර්භනී ස්‌ත්‍රීන් මෙන්ද විලාප කියමින් අඬන්නන් මෙන් ද ආදී වශයෙන් රඟපෑමෙන් ඔවුන්ගේ ඒ දුබල ගති රස දක්‌වන පාත්‍රවර්ගයාටත්, ප්‍රේක්‍ෂකයාටත්, බලපාන බැවින් එවැනි චරිත නාට්‍යයන් ගෙන් අස්‌කළ යුතු බව ප්ලේටෝ අදහස් කරයි. මේ අනුව රඟදැක්‌විය හැක්‌කේ යහපත් මිනිසුන් අනුකරණය කරන චරිතය.
"කාන්දම් යකඩ කැබල්ලක් ඇද ගන්නාක් මෙන් කාව්‍යයද පාඨකයා ඇදගනී. යයි "ලෝස්" (ඛ්අs) නමැති ග්‍රන්ථයෙහි ප්ලේටෝ ප්‍රකාශ කරයි. කාව්‍ය රසය එල්ලවන්නේ මිනිසාගේ බුද්ධියට නොව වින්දන රුචියට බව ප්ලෝටෝ අදහස් කළේය. ඒ මගින් මිනිසා තුළ ඇති මෘග ගති ගුණ කැළඹී චරිතය දූෂණ වන බවද ඔහු අදහස් කරයි. "එයි සියලු ආචාර ධර්ම සම්මුතීන් හා චාරිත්‍රයන් බිඳ දමන්නේ" යෑයි (ඡය්edරමි - චක්‌එද) සඳහන් කරයි. ඇරිස්‌ටෝටල් කාව්‍යමය කරුණුවත් බියත් මගින් භාවික විවේචනයක් ඇති වන බව කියමින් ඒ මගින් මනසට සුවයක් ඇති වන බව කියතත්, ප්ලේටෝගේ අදහස වන්නේ, ඒ මගින් මිනිසා තුළ ඇති මෘග ගති තව තවත් කැළඹෙන බවත්, ඒ නිසා ඒවා මැඬ පැවැත්විය යුතු බවත්ය. "කාව්‍යය චිත්ත වේගයන් කෙරෙහි බලපායි. මින් බුද්ධිය යටපත් චිත්තවේග බලවත් වේ. මේ නිසා අවුලක් ඇති වෙයි" යෑයි ප්ලේටෝ රිපබ්ලික් හි සඳහන් කිරීමෙන් පෙනී යන්නේ කාව්‍යයෙන් ඇතිවන කරුණාවත් බියත් මිනිසාගේ ස්‌වබුද්ධිමය පාලනයට අගෝචර බවය.
ප්ලේටෝ මිථ්‍යා කථාවලටද තම විවේචන දෘෂ්ටි කෝණය එල්ල කළේය. ප්‍රාථමික අධ්‍යාපනය මිථ්‍යා කථා සාහිත්‍යයෙන් ඇරඹිය යුතු බව කියයි. මෙයින් කාව්‍යයට අධ්‍යාපනයේ තැනක් දෙන බව නිගමය වේ. කාව්‍යයේ අරමුණ සත්‍ය පහදාදීම් නම් මිථ්‍යා කථාවලින් එවැන්නක් සිදුවේදැයි ප්‍රශ්නයක් ඇතිවේ. ප්ලේටෝ සත්‍යය තර්කයෙන් අවබෝධ කිරීමට නොහැකි ස්‌ථාන වලදී මිත්‍යා කථා මගින් තම ගුප්ත අදහස් ඒත්තු ගැන්වීමට තැත් කරයි. මෙයට සාධකයක් වශයෙන් පුනරුත්පත්තියේ සත්‍යය පැහැදීමට ඔහු ඉදිරිපත් කළ "එර්" (Eරර) ගේ කථාව පෙන්විය හැක. මෙයින් පෙනී යන්නේ ඔහුද මිථ්‍යා කථා භාවිත කරනු බවය. එහෙත් මිථ්‍යා කථා ප්ලේටෝට අනුව භාවිත කළ හැක්‌කේ සත්‍ය පැහැදිලි කිරීමටත් සදාචාරාත්මක පදනමක් ඇති කිරීමටත් පමණය. සදාචාරයට පටහැනි මිථ්‍යා කථා කුමන අයුරකින් හෝ භාවිත කිරීම හෙළාදැකිය යුතු කටයුත්තක් හැටියට ප්ලේටෝ සලකයි.
ප්ලේටෝ සාහිත්‍යය සෞන්දර්ය පමණක් පදනම් කොට ගත් දෙයක් වශයෙන් නොසලකයි. සාහිත්‍යයේ සෞන්දර්යයත්, උපයෝගිතාවත්, සත්‍යයන් ගැබ්වී තිබී යුතුව බව සලකයි. මෙයට හේතුව සත්‍යය සෞන්දර්යය හා උපයෝගිතාවය යන ත්‍රිවිධ අංගයන්ම එක්‌ව ඇති බවත් සත්‍යයෙන් තොර උපයෝගිතාවක් හෝ සෞන්දර්යයන් නොමැතිය යන මතය ඔහු ගත් නිසාය. සාහිත්‍යයද මේ අනුව සකස් විය යුතුය. එවැනි සාහිත්‍යයක් සකස් කළ හැක්‌කේ වීරවරයන් ගැබ් කොට රචිත කාව්‍යයන් හා දෙවියන්ගේ යහපත් සත්‍ය ගුණයෙන් ගැබ්කොටගත් කාව්‍යයන්ගෙන් පමණක් බව ඔහු රිපබ්ලික් හි 10 වෙනි පොතෙහි සටහන් කරයි. මෙවැනි නාට්‍යයකින් සදාචාරය වර්ධනය වේ. මනස කැළඹිලි ස්‌වභාවයකට පත් නොවේ.
කාව්‍ය විචාරකයා දාර්ශනිකයකු විය යුතු යයි ප්ලේටෝ අදහස් කරයි. මෙහිදී දාර්ශනික යායි. නිර්වචනය කරන්නේ, සත්‍යය දත් සදාචාරාත්මක බුද්ධිමතායි. ජීවිතය ගැන තථ්‍ය අවබෝධයක් ඇත්තේ ඔහුට පමණි. මිනිසාට කුමක් යහපත් ද යෑයි දන්නේත් ඔහු පමණි. ඒ අනුව සාහිත්‍ය මිණුම් දණ්‌ඩ විය යුත්තේ දාර්ශනික විචාර බුද්ධිය සහිත සත්‍යයයි.
ප්ලේටෝ තම පරමාදර්ශී රාජ්‍යයට (මෙය ඔහු විසින් සකස් කළ මන(කල්පිත ආදර්ශ රාජ්‍යයයි) නෛසර්ගික බුද්ධියෙන් හෙබි කවියකු පැමිණි විට ඔහුගේ ගෙළෙහි මල්මාලයක් පළදවා තම පරමාදර්ශී රාජ්‍යයෙන් පිටමං කරන බව රිපබ්ලික් හිදී කියයි. මෙයට හේතුව කාව්‍ය මගින් පුරවැසියන් නොමග යවන්නේ යෑයි ඔහු ඇදහූ බැවිනි. හෝමර් හෙෂියඩ් ඇතුළු සියලු ශෝකාන්ත හා හාස්‌යෝaත්පාදක කවාකාරයන් ඔහු විවේචනයට ලක් කළේය. මෙසේ ශ්‍රේෂ්ඨයයි පිළිගන්නා ලද කවීන් පහත් ලෙස විවේචනයට ලක් කිරීමට හේතුව කුමක්‌ද? කවියා ග්‍රීකයාගේ අධ්‍යාපඥයාත්, මාර්ගෝපදේෂකයාත් වශයෙන් සැලකිලි ලැබුවේය. සෑම අවස්‌ථාවකදීම උපදේශාත්මක පාඨ වශයෙන් භාවිත කළේ, මෙම කවීන්ගේ පාඨයය. එහෙත් මේවා මගින් සමාජය නොමග යන බව ප්ලේටෝට වැටහී ගියේය. "කවීන්ගේ පරිකල්පනය වන්නේ තමන් ලෝකයේ, හැම කරුණක්‌ම දත් අය බවත් ප්‍රඥාවන්ත අය බවත්ය." (Aචචදකදටහ - චක්‌එද) මෙයින් කවීන්ගේ සිතුවිලි පෙන්වයි. එහෙත් ඔවුන්ට එවැනි දැනීමක් නොමැත. ඒ නිසා ග්‍රීකයන්ගේ කවීන් පිළිබඳව තිබූ විශ්වාසය බිඳ දැමීමට ප්ලේටෝ තම කෘතිවලින් අදහස් කරයි.
ප්ලේටෝ කාව්‍ය සකස් කළ යුත්තේ කෙසේද යයි පැහැදිලිව විස්‌තර නොකරය. ඔහුගේ මේ පිළිබඳ ප්‍රකාශනයන් බොහෝ විට නිෂේධනාත්මකය. ඔහු කාව්‍ය ඡන්දස් (භැඑරු) උපමාලංකාර ( Sසපකක්‌ර) රූපක (පැඒචයදර) හා කාව්‍යම භාෂාව කෙසේ සකස් විය යුතුයද යෑයි එතරම් විස්‌තරයක් නොකරයි. එක් තැනක දර්ශනය ශ්‍රේෂ්ඨතම සංගීතයයි. (චය්sdද 61) ප්ලේටෝ සොක්‍රටීස් ලවා ප්‍රකාශ කරවයි. ප්ලේටෝ ස්‌වභාව ධර්මයේ ආකෘතීන් අඳුනා ගත්තේය. එහෙත් ඔහු මිනිසා විසින් නිර්මාණය කරනු ලබන දයෙහි ආකෘතීන් අඳුනා නොගත්තේ යෑයි ඇරිස්‌ටෝටල් ප්ලේටෝ විවේචනය කරමින් "මැටිපිසික්‌ස්" (පැඒචයහිසජි) හි සඳහන් කරයි.
ප්ලේටෝ විසින් නිර්වචනය කරනු ලැබූ කාව්‍ය නවීන කාව්‍ය ලෙස නොගනිමු. ඔහු ඉදිරිපත් කළ කාව්‍යය හා අපේ කාව්‍ය අතර සමානකම් ඇත. එහෙත් වෙනසකට ඇත්තේ කාව්‍ය ප්‍රයෝගයට යොදන පරිසරයයි. ඔහු සම්ප්‍රදායික කවීන්ගෙන් කුමන සදාචාරාත්මක ආරක්‍ෂාවක් ලැබේ දැයි අසයි. දෙවියන්, වීරවරයන්, සාමාන්‍ය මිනිසුන් සහිත එම කථාවල මිනීමැරුම්, කිට්‌ටු නෑකම් ඇති ස්‌ත්‍රී පුරුෂයන් අතර සංවාස ආදී දූෂණයන් ෙද්‍රdaහිකම් ද බහුලව ඇතැයි විස්‌තර කරයි. ඒවා පාලනයෙන් විරහිත රාගයන්ගෙන්ද දුර්වලකම් වලින්ද, බියගුලු කථාවලින්ද ක්‍රෝධයන්ගෙන්ද ගහන බව පෙන්වා දෙයි.
ප්ලේටෝ දාර්ශනිකව හා සදාචාරාත්මකව කාව්‍ය ගැන කරන විමර්ශනය පරමාදර්ශී රාජ්‍යයකට උචිතව සකස් කරයි. ඒ අනුව ඔහු කාව්‍යය දෙස බලන්නේ මුළු සමාජයේ සංවර්ධනයට හේතුවන දේශපාලන දෘෂ්ටි කෝණයක් අනුවයි. එහි මූලධර්ම "ශ්‍රම විභජනය" අනුව එක් අයෙකුට කළ හැක්‌කේ එක් කාර්යකි. ඒ අනුව කාව්‍යකරණය අයත් වන්නේ දාර්ශනිකයාටය. ඔහු එම සමාජයේ පාලතයායි. සමාජය නමැති ආත්මයේ බුද්ධියයි. පාලිකයාට කුමක් හොඳද? කුමක් නරකද? යෑයි දන්නේ ඔහු පමණි. ඔහු කාව්‍ය රචනා කරන්නේ සමාජයේ, සංගමයත්, ධෛර්යයත්, බුද්ධියත්, යුක්‌තියත් ඇති වන අන්දමටය. ඒ අනුව සමාජයද සකස් විය යුතුයි. එයින් මිනිසා සාමකාමී සමෘද්ධිමත් තත්ත්වයකට පැමිණේ. ප්ලේටෝ කාව්‍ය විවේචනය එවැන්නක් කොට සකසා නිසි ඔහුගේ නිගමන අවසානයේ දී දේශපාලන ස්‌වරූපයක් ගන්නා බව අපට පෙනේ.
රෙජින්ටන් රාජපක්‍ෂ
පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේදර්ශන අංශයේ හිටපු කථිකාචාර්යවරයෙකි.
විදෙස් සාහිත්‍ය විචාරය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. පරිවර්ථකයෙකි. සංස්‌කාරවරයෙකි. පුවත්පත් - සඟරා ලිපි රචකයෙකි. මෙතුමා විසින් රචනා කරන ලද මෙම විශිෂ්ට ගණයේ ලිපිය වර්ෂ 1969 අප්‍රේල් මස රසවාහිනි සඟරාවෙහි පළවිය. සටහන සමගින් මේ ලිපිය එවන ලද්දේ මහදිසාවේ බණ්‌ඩාර ඇටිපොල විසිනි.
No comments:
Post a Comment