වර්තමානයේ අප රටේ අලුත් පරම්පරාව කෙරෙන් අමුතු ලිවීම් රටාවක් මීට වසර කීපයකට පෙර සිට පාඨක ජනයාට අත්දකින්නට ලැබේ.
මා දන්නා තරමින් එබඳු ලිවීම්හි පුරෝගාමී වූවෝ 2004 සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ එක්ස් කි‍්‍රයාකාරිකයෝ යි.
සමාජය, දේශපාලනය සාහිත්‍යය හෝ සමස්ත කලාව, හෝ සංස්කෘතිය නවමු කියැවීම් රටාවකට යොමු කළ එකී ලිවීම්හි ගැවැසීගත් වෙසෙසි බව වූයේ පාඨක ජනයා මින් පෙර නොඇසූ නොකියවූ නුහුරු වචන හා යෙදුම් හා හැඳිනුම් බොහෝසෙයින් උපයෝගී කොට ගෙන ඒවා නිමැවී තිබීම යි.
එහෙත් ඒ ලියැවිලි හැමකක ම වාගේ දුරවබෝධ බවක් දැක්ක හැකි විය.
යම් ලියැවිල්ලක් පාඨකයකු හට දුරවබෝධවීමට බලපාන හේතු සාධක දෙකක් මූලික ව ම ඇති බව මම අදහමි. ඉන් පළමුවැන්න වන්නේ, අප ඉහතින් කතා කළ ලියැවිල්ලේ ඇති නීරස, කර්කශ පද පෙළගැස්ම සහ එහි අන්තර්ගත කරුණුවල ඇති දුරවබෝධ බව යි.
දෙවැනි හේතු සාධකය වන්නේ, ඉහත සඳහන් කළා වැනි වූ ලියැවිලි වුණත් ඉතා සාවධාන ලෙස කියවා අන්තර්ග‍්‍රහණය කැර ගනිමින් ජීර්ණ කොට පත්තියම් කැර ගන්නට හැකි තරමේ අවශෝෂණ ශක්තියකින් හෙබි පාඨක පිරිසක් දැන් දැන් අප සමාජයේ නොසිටීම යි.
දැන් ඉහත කාරණය විදාරණය කොට වටහා ගත යුතු ව ඇත. යම් ලියැවිල්ලක් පාඨක සමාජයට දුරවබෝධවීම සිදුවිය හැකි සාධක දෙකකි.
(i) ලියන්නා ගේ බස රසවත් මෙන් ම අනෙකාට වටහාගත හැකි අන්දමේ විශ්ලේෂී සංශ්ලේෂී බසක් හෝ භාවිතයක් නොවීම.
(ii) පාඨකයාගේ පාර්ශ්වයෙන් ඔහු තමා කියවන ලියැවිල්ලේ ඇති දැනුම හා යාවත්කාලීන නො වී සිටීම සේ ම එබඳු වෑයමකට හෝ කිසිදු සූදානමක් නොමැති වීම.
පළමු කරුණු දැක්වීමට අනුව ලියන්නා ගේ බස නීරස මෙන් ම අනෙකාට වටහා ගත නො හැකි අන්දමේ භාෂා භාවිතයක් වීම නිසා කියවන්නාහට එකී ලියැවිල්ලේ අන්තර්ගතය වටහා ගත නොහැකි වීමත්, දෙවැනි ව ලියන්නා ගේ බස හෝ ලිවීමේ පෙළගැස්ම කෙසේ වෙතත්, කියවන්නා ඊට කිසිදු සූදානමක් නැති අයකු වීම ද බරපතළ වරදකි.
එබැවින් යම් ලියැවිල්ලක් දුරවබෝධ යැයි නම් කළ පමණින් එය ලියූ ලේඛකයා ගේ අවුලක් ලෙස ම වටහා ගැනීම නිවැරැදි නොවන බව ඔබට කීමට මෙතෙක් වෙහෙසුණෙමි.
එහෙත් මේ රචනාවේ මූලික මැය ‘ගූඪ රචනාව‘ හෙවත් ’Obscurantism’ ඉහත අප විවරණය කළ රචක, පාඨක තත්ත්වයන්ට වඩා ඔබ්බට ගිය මඳක් සංකීර්ණ තත්ත්වයකි.
එය අපට කෙසේ නම් වටහා ගනු හැකි ද? ඒ සඳහා කි‍්‍ර.පූ. හතරවන සහ පස්වන සියවස් කාල වකවානුව වෙත එබිකම් කළ යුතුව ඇත.
කි‍්‍ර.පූ.360 දී පමණ දාර්ශනික ප්ලේටෝ පඩිවරයා අතින් නිමැවුණැ යි සැලැකෙන ‘ද රිපබ්ලික්’ නම් දීර්ඝ රචනාවේ සයවැනි කොටසේ වන සඳහනක් මීට මුල පුරා ඇත.
මීට අදාළ ව එහි වන සඳහන වන්නේ, ‘ෂිප් ඔෆ් ස්ටේට්’ Ship of State යන්න යි.
ඉන් ප්ලේටෝ අරුත් ගැන්වූයේ ඔහු ලෝකයා වෙත ඉදිරිපත් කළ පරමාදර්ශී රාජ්‍යයේ නායකයා හෙවත් කප්පිත්තා පිළිබඳව යි. ප්ලේටෝ ප‍්‍රකාශ කෙළේ, මේ පරමාදර්ශී රාජ්‍යය නමැති නෞකාවේ කප්පිත්තා දාර්ශනික නිරිඳකු විනා අන් කිසිවකු නොවන බව යි.
Philosopher King(s) නමින් ප්ලේටෝ හැඳින්වූ එකී පරමාදර්ශී රාජ්‍ය නායකයා හෝ නායකයන් (ද රිපබ්ලික් VII) තම රාජ්‍ය පාලනය උදෙසා යම් විටෙක පවසන දෑ ඉන්තේරුවෙන්ම සත්‍ය නොවිය හැකි නමුත්, ප්ලේටෝ එකී ප‍්‍රකාශ හැඳින්වූයේ ‘නෝබල් ලයිස්’ Noble lies හෙවත් උදාර මුසා බස් ලෙස යි.
දැන් අපට විමසා බැලීමට භාර වී ඇත්තේ ප්ලේටෝ එදා හඳුන්වා දුන් Noble lies හෙවත් උදාර මුසා බස් කෙසේ නම් අප මුඛ්‍ය මැය වූ ‘ගූඪ රචනා’ කෙරේ බලපැවැත්වී ද යන්න සහ එනයින් මෙකී ගූඪ රචනා කෙසේ නම් සාධාරණීකරණය වී ඇත් ද යන්න යි.
මේ නිදර්ශන ඡේදය කියවන්න.
”ඔෂ්විට්ස් ලෝකය (හිට්ලර් ගේ වධක කඳවුරක්) භාෂණයට (Speech) එපිටින් රැඳී තිබෙන්නේ එය තර්ක බුද්ධියට (Reason) එපිටින් රැඳී තිබෙන අයුරිනි.
කතා කිරීමට නොහැකි දේ ((Unspeakable) ගැන කතා කිරීමට යෑමෙන්, තර්ක බුද්ධි විෂයක මිනිස් සත්‍යයේ ධාරකයා සහ නිර්මාපකයා හැටියට භාෂාව සතු උර දී දරා සිටීමේ හැකියාව අවදානමට (Risk of Survivance of Language) භාජන වේ.
බොරුවලින් සහ දරුණු ම්ලේච්ඡ කි‍්‍රයාවලින් සම්පූර්ණයෙන් සංතෘප්ත වුණු වචන නැවත පහසුවෙන් ජීවය ලබා ගන්නේ නැත.”
ඉහත ජේදය උපුටා ගත්තේ කොතැනකින් දැයි නිශ්චිත ව කීම අනවශ්‍ය යැයි සිතමි. අවශ්‍ය වන්නේ අප දැන් සාකච්ඡා කරන ප‍්‍රස්තුතයට ආසන්න නිදසුනක් ගැනීම යි.
එබැවින් දැන් මොහොතකට පෙර ඔබ කියැවූ ඒ ඡේදය නැවත නැවතත් කියවන්න. එහි අන්තර්ගත යැයි අනුමාන කළ හැකි අරුතක් ගැන හිතන්න.
ඔබ පඹගාලක පැටලී ඇතැයි මට සිතේ. ඉතින් ඉහත ඡේදය ලියූ ලේඛකයාට අවශ්‍ය වන්නේ ද එය ම ය.
තම ලියැවිල්ල කියවන පාඨක ජනයාට නිරවුල් ව වැටැහෙන සේ (උපරිම අයුරින්, උපරිම අයුරින් යනු, තමා සාකච්ඡා කරන විෂයය හැකි පමණ ලිහිල් කිරීම ඉහත ලේඛකයා ගේ අභිප‍්‍රාය නො වේ.
ඔහු උත්සාහ ගන්නේ තමන්ගේ රචනාව සිංහල – ඉංග‍්‍රීසි වචන පටලයකින් මුවාකොට එහි අරුත ගූඪකරණයට පාවාදී රචනාව ප‍්‍රතිවාදීන් ගේ ආක‍්‍රමණයකට ලක් නොවන සේ රක්ෂා කැර තබා ගැනීමයි.
මෙය අප රටේ නව ප‍්‍රවණතාවක් ලෙස භාවිත කරමින් තම ලිවීම් කරන කීප දෙනෙක් ම සිටිති.
මා කලින් සඳහන් කළ 2004 සුනාමියට පෙර පැවැති එක්ස් කණ්ඩායම ද එහි අනුකාරකවාදී ව බිහි වූ තවත් කුඩා කණ්ඩායම් ද එසේම, තමා ඒ කිසිවකු අනුකරණය නොකරනවා යැයි පාරම්බාමින් ම එය මැ කරන තනි පුද්ගල චරිත කීපයක් ද මේ අතරේ විය.
එසේ නම් මේ සැවොම ලියනා ලියැවිලි සියල්ල ව්‍යාජ, අරුත්සුන් ප‍්‍රයෝගකාරී ලිවීම් පමණක්ම ද?
නැත. එය එසේ කීම ඒ හැමදෙන සාහිත්‍ය කලාව සංස්කෘතිය හෝ දේශපාලනය වැනි විෂයයන් කෙරේ දක්වන අපමණ ළැදියාව හා උනන්දුවත් මානසික වෙහෙසත් ඉතා අසාධාරණ ලෙස අවතක්සේරු කිරීමකි.
එහෙත් ඒ සියලු සාධනීය වෑයම් කිරීම් පිටුපස ඇත්තේ යම් ශාස්තී‍්‍රය හීනමානයකි. ආත්ම අවිශ්වාසයකි. තරමක කුහකකමකි. සංවාදයට ඇති පැකිළීමකි.
නිතරගයෙන් ජය ප‍්‍රාර්ථනා කිරීමකි. අධිපතිවාදයට ලොල් වූ බවෙකි.
තරමක නිවටකමක් ද ගම්‍ය නොවන්නේ නො වේ. එසේ වී නම්, එදා ප්ලේටෝ හඳුන්වා දුන් ‘උදාර මුසා බස්’ සංකල්පය ඊට පසු කාලයක වඩා වර්ධනය වූ අද අප සංවාදයට බඳුන් කරන මෙකී ‘ගූඪ රචනා’ ශෛලියට අත්පොත් තැබුවා වන්නේ කෙසේද? එනයින් ම, එසේ වීම කරණ කොට ගෙන ම මේ ගුඪ රචනාවන් ද ‘උදාර මුසාබස්’ යන්නෙහි අරුත් නඟන ද්විත්ව ප‍්‍රතිපක්ෂ ගුණයෙන් ද අනූන ය.
එය තවදුරටත් පැහැදිලි කරනුයේ නම් උදාර යනු උතුම් යන්න යි. මුසා බස් යනු බැහැර කළ යුතු යමකි.
එහෙත් ප්ලේටෝ තම ‘ද රිපබ්ලික්’ ලියවිල්ලෙන් ගෙන හැර දැක්වූ උදාර මුසාබස් යනු ඉහත කී සුගුණ නුගුණ දෙපස ම ඇති, සුගුණ කෙරෙන් නුගුණ සමහන් වන්නා වූ ද නුගුණ කෙරෙන් සුගුණ ප‍්‍රතික්ෂේප නොවන්නා වූ ද සංකල්පයකි.
එබැවින් වර්තමානයේ අප සංවාදයට ගන්නා මේ ගුඪ රචනාවන් ද එකී ගුණ මැ ප‍්‍රකට කරයි.
(ඪ) බහුතර පාඨක ජනයා හට වටහා ගැනීමේ අපහසුතාවක් තිබුණ ද ගුඪ රචනාව ඵලක් නැති හිස් ලියවිල්ලකැ යි කිසිවකු හට තර්ක කළ නො හැකි වීම.
(ඪඪ) ගුඪ රචනාව ද උදාර මුසාබසක් සේ ම ගුඪ බව ද ඉන් පැනෙන අරුත පිළිබඳ වූ අවිනිශ්චිත බව ද හේතු කොට අධිපති ස්වරූපයක් දැනැවීම.
(ඪඪඪ) ප්ලේටෝ කියූ සේ ම උදාර මුසාබස් දොඩන්නන් වූ දාර්ශනික නිරිඳුන් මෙන් මෙකී ගුඪ රචනා රචකයන් ද තමා පෙරළා ප‍්‍රශ්න කිරීමකට සූදානම් නොවීම හා යමකු එසේ ප‍්‍රශ්න කළ විට ඒ ප‍්‍රශ්නකරු මුග්ධයකු හෝ ඥානහීනයකු යැයි නම් කොට පිරිහෙළා දැමීම.
දැන් අප මේ කතාබහ අවසන් කළ යුතු වන බැවින් ඉහත දැක්වූ සියලු කරුණු පාදක කොට ගෙන යම් කිසි වූ නිගමනයක් වෙත පැමිණිය යුතු ව ඇත.
මීළඟ නිදසුන් උපුටා ගැනීම වෙත යමු.
“ජෝර්ජ් ස්ටයිනර් ‘භාෂාව සහ නිශ්ශබ්දතාව‘ (Language and Silence) රචනා කරන්නේ භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ අර්බුද කතිකාවක් හා හැඬීම් කතිකාවක්(Discourse of Mourning) වෙනුවෙනි.
හිට්ලර් ගේ නාසිවාදයේ නැඟීම ඉදිරියේ භාෂාව, විශේෂයෙන් ජර්මන් භාෂාවෙහි ඇති වූ අර්බුදයත්, නාසි අපරාධ ඉදිරියේ භාෂාව නිශ්ශබ්දතාවක ගිලීමත්, නාසි බොරු සඳහා ජර්මන් භාෂාව පාවිච්චි කිරීමෙන් ඒ බසෙහි ඇති වූ මාරාන්තික ආතතියත්, කෆ්කා සහ විට්ගන්ස්ටයින් ප‍්‍රමුඛ සාහිත්‍යකරුවන් සහ දාර්ශනිකයන් වෙතින් පැන නැඟුණු භාෂාත්මක ප‍්‍රතිචාරයත් ඔහු එමැ කෘතියෙහි සාකච්ඡා කරයි.”
ඉහත ඡේදය තම පාඨක ජනයා වෙත ගෙන එන්නට අරඅඳින දැනුම ඉහළ අගයක් ගනී. එහෙත් බහුතර පාඨකයා ලියැවිල්ල කුණු කූඩයට දමනු ඇත. හේතුව ව්‍යාජ පණ්ඩිතමානී බව හා තම ලිවීමේ අධිපති බව රක්ෂා කරන්නට එහි ඒ ඇසුරේ තනා ඇති බොරු වළවල් හා සර්ප දිය අගල් වැනි කඩඉම් ය.
ඉහත රචකයාට ඔහු ලියා ඇති දේ මීට වඩා ලිහිල් ව ලියන්නට ඕනෑ තරම් අවකාශ තිබිය දීත් ඔහු ඉහත ආකාරයට තම ලිවීම කරන්නේ දැනුම බෙදාහදා ගැනීමට ඇති අකැමැත්ත හා ප‍්‍රශ්න කිරීමකට ලක්වීමෙන් වැළැකීමට යි.
මා මේ ව්‍යායාමය හැඳින්වීමටත් තේරුම් කිරීමටත් යොදා ගන්නේ ඇමෙරිකන් ලේඛිකා ලෝරන් ආර්ට‍්‍රස් ගේ (Lauren Artress) වංකගිරි න්‍යායාත්මක එළැඹුම යි. ඉන් ලෝරන් කියාපාන්නේ වංකගිරිය හෙවත් Labyrinth නමැති සංකල්පය මිනිසුන් හට සිය ජීවිතය සහ ආත්මය පවා තේරුම් ගැනීමට භාවිත කළ හැකි මෙවලම් සංකල්පයක් බව යි.
මේ බව කියාපාමින් කෘති කීපයක් ම ලෝරන් අතින් සංග‍්‍රහ වී ඇත. (Sacred path - 1/2 සහ The Sand Labyrinth Kit) වරක් ලෝරන්, කි‍්‍රස්ටීන් ෆෙයාර්චයිල්ඩ් නම් මාධ්‍යවේදිනිය හා කළ සංවාදයක දී (The Labyrinth A Medieval Tool for the Postmodern Age) කියා සිටින්නේ, වංකගිරියක සහ දුර්ගගිරියක Labyrinth - Maze) අතර ඇති වෙනස ගැන යි. ඇය කියා සිටින්නේ, වංකගිරියක් නියමාකාරයෙන් වටහා ගැනීම ම මොළයට ලාභයක් බව යි.
එවිට එය තරණය කිරීමෙන් වරෙක මංමුළා වුව ද අවසානය පිළිබඳ සාධනීය බලාපොරොත්තු තැබිය හැකි බව යි. එහෙත් දුර්ගගිරියක දී සිදුවන්නේ තරණය කරන්නා බොරුවලවල්වලට යොමුවීම හෝ අන්තරායයන්ට මුහුණපෑම ය.
ඉතා සරල ව සහ කෙටියෙන් ඉහත විස්තර කළ න්‍යායික එළැඹුම අනුව යමින් මා ඔබට කියන්නේ අප නිමකරන ශාස්තී‍්‍රය න්‍යායික රචනාවක් සැමවිට ම වංකගිරියක් වූවාට කමෙක් නැති බව යි. එහෙත් දුර්ගගිරියක් නම් නොවිය යුතු බවයි.
වංකගිරිය තරණයට දැනුම්වත් බව ඇවැසි වෙයි. එය අභියෝගාත්මක ය. අලසයන්ට එය නොකළ හැක්කකි.
එහෙත් දුර්ගගිරිය හෙවත් Maze තරණය කිරීම අන්තරායකාරී මෙන් ම අනර්ථකාරී ය. එබැවින්, ශාස්තී‍්‍රය රචනා නිමවන්නකු කාවේයාක්තීන් ගෙන් මෙන් ම සුපසන් වක් බසින් ද නැණ පහන් දල්වන නව දැනුමෙන් ද පිරිපුන් ව තම රචනාව නිමවීමේ කිසිදු වරදෙක් නැත.
එහෙත් එය පාඨක මගියා හට බුද්ධිප‍්‍රායෝගික වංකගිරියක් ම මිස හිංසාකාරී අනර්ථයෙන් මඟ වළකන දුර්ගගිරියක් නම් නොවිය යුතු බව යි.
එහෙත් Obscurantism හෙවත් ගුඪ රචනා ශෛලිය වසර දහස් ගණනක් තිස්සේ පැවැත ඇත්තේ මානව හිතවාදී, බුද්ධි ප‍්‍රබෝධන වංගකිරියක් ලෙස නම් නො වේ.
තමන් හට බුද්ධි ප‍්‍රභාවක් ඇතත් එකී දැනුම අන් අය හා බෙදාහදාගැනීමට අකැමැති මසුරු, අධිපතිවාදීන් ගේ මානව එදිරිවාදී බුද්ධි ගූඪකරණ දුර්ගගිරි ඉදිරිපත් කිරීමක් ම ලෙසිනැ යි යන්න මාගේ විශ්වාසය යි.