Saturday, 13 August 2011

බ්ඳුණු පෙම ගැන දුක් වන්නේ නැවත කෙනෙක් හමුවන තුරු පමණයි

උපුටා ගැනීම :www.dinamina.lk

පෙම් සබඳතාවක් තිබෙන කාලෙ අහස උසට ගොඩ නගාගෙන තිබුණු මාලිගා එය බිඳ වැටීමත් සමඟම සුණු විසුණු වී යනවා. එවිට ඇතිවන දුක දරා ගැනීම ඉතාමත් ම අපහසුයි. ඒ නිසාම මිනිසුන් ජීවිතයෙන් සමු ගැනීමට පවා උත්සාහ කරන බව බොහෝ විට දකින්න ලැබෙන දෙයක්.

පෙම් සබඳතාවක් කියන්නෙ මොකක්ද ? එය බිඳ වැටුණු විට ඇතිවන වේදනාව මානසිකව බලපාන්නෙ කොහොමද ? විෂාදිය වැනි තත්ත්වයන් ඇතිවන්නේ කෙසේද ? මෙවන් කෙනෙක්ගෙ සිත සැනසිය යුත්තේ කොහොමද ? ආදී කරුණු පිළිබඳ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර ගාම්භීර මහතා සමඟ කළ කතාබහකි මේ.

ආදරය කියන්නේ ?

ලිංගික සබඳතාවක් අරබයා ගොඩනැගෙන්නා වූ සබඳතාවක්. එම සබඳතාව දීර්ඝ කාලයක් පැවැතීම නිසා යම් කිසි ළෙංගතුකමක් ඇති වෙනවා. ඒ මත ඇතිවන්නා වූ බැඳීමක් ආදරය කියන එකෙන් අරුත් ගැන්වෙනවා.

මේ වගේ එකිනෙකාට බද්ධ වන දීර්ඝකාලීනව සම්බන්ධ වන දෙයක් ආදරය යන්නෙන් අදහස් කළ හැකියි. හමුවීම, කැමැතිවීම හා එක්ව වැඩකටයුතු කිරීම යන දේ (ලිංගික සබඳතාවක් දක්වා වූ) දක්වා වූ සුවිශාල සම්බන්ධයක් බවට මෙය පත්වන්න පුළුවන්. ඊට පසුව දරුවන් ලැබීම දක්වා යන්නා වූ දෙයක්. ඒ අනුව ආදරය කියන්නෙ ලිංගිකත්වයට ප්‍රවිශ්ට වීම සඳහා කරන උපායක් විදිහට අර්ථ ගන්වන්න පුළුවන්.

නැතුව ආදරය කියන්නෙ ආත්ම ගණනක් පතාගෙන එන පිවිතුරු දිව්‍යමය වූ දෙයක් නෙමෙයි.

ආදර සබඳතාවක් බිඳ වැටීම ජීවිතයට බලපාන්නෙ කොහොමද ?

ආදර සම්බන්ධයක් බිඳ වැටෙනවා කියන්නෙ අපට තිබූ දෙයක් නැති වෙනවා කියන එකයි. ඒක මහ ව්‍යසනයක්, සමහරු කියන්නෙ ඒ දෙන්නා නොගැලපෙන නිසා වෙන් වුණා කියලයි. එකිනෙකාට නොගැලපෙන බව කියන කොට ඔවුන්ගේ සිතුම් පැතුම්, චාරිත්‍ර වාරිත්‍ර, අධ්‍යාපන මට්ටම්, සමාජ මට්ටම් (කුලය, ධනය ආදිය) හේතුකරගෙන එක්කෝ පුද්ගලයන් අතර නැත්නම් පවුල් අතර නොගැලපෙන බව නිසා වෙන්වීමක් විය හැකියි.

ඒකට හේතුව විවාහයක් කියන්නෙ පුද්ගලයන් අතර තිබෙන සම්බන්ධයක් පමණක් නෙමෙයි, පවුල් අතර හට ගන්නා සම්බන්ධයක් වන නිසයි. මේ බව සමාජ විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් දිගින් දිගටම විස්තර කළ දේවල්.

සමහරු වෙනත් සබඳතා නිසා වෙන් වෙනවා. ඒකෙන්ම පේනවා මෙහි තිබෙන ව්‍යාජ බව. තමන්ට ලැබී සිටිනවාට වඩා ප්‍රියජනක ධනවත් කෙනෙක් ලැබුණොත් ඒ කෙනා හා සබඳතාවක් පවත්වාගෙන යාම සඳහා වෙන් වීම් සිදු වෙනවා. ඒ වගේම සමහරු සබඳතා කීපයක් පවත්වාගෙන යනවා. ඒකෙන්ම තේරෙනවා මෙහි අරුත මොකක්ද කියන එක. කෙසේ වෙතත් දීර්ඝ කාලයක් එකිනෙකා මත යැපෙමින් පවතින සම්බන්ධය නැතිවීමෙන් සිදු වන්නේ ව්‍යසනයක් හට ගැනීමයි.

එවැනි ව්‍යසනයක් අපේ මනසට බලපාන්නෙ කොහොමද ?

ආදර සබඳතාවක දී අලුත් මතක රාශියක් එකතුවෙලා අපේ මොළයේ යම් කිසි වෙනස්කම් රාශියක් ඇති වෙනවා. ඒක නැති වෙනවා කියන්නේ එය දරුණු විදිහට අපේ මොළයට බලපානවා කියන එකයි. ඒක තමයි ව්‍යසනයේ ආරම්භය. එසේ වූ විට විශාල පීඩාවක් ඇති වෙනවා. එම පීඩාව රැඳී පවතින්නේ ආදර සබඳතාවයේ තිබූ ගුණාත්මකභාවය මතයි.

නැතිව ප්‍රේමයේ තිබෙන උත්තරීතර බව මත නෙමෙයි. දෙදෙනාගෙන් එක් කෙනෙක්ගෙ කැමැත්ත මත වෙන් වුණා නම්, එය පීඩාවක් වන්නෙ එක් පාර්ශ්වයකට පමණයි. ඒක ඒ කෙනාට දැඩි කම්පනයක් වෙනවා. සුහදව වෙන්වුණා නම් දෙදෙනාටම එතරම් බලපෑමක් සිදු වන්නේ නෑ.

මේ හේතු කරගෙන ඇතිවන මානසික ආපදා කෙබඳු ද ?

සිග්මන් ෆ්‍රොයිඩ් ට අනුව දෙදෙනක් අතර සබඳතාවක් ඇතිවන විට ඒ හේතු කරගෙන එම සම්බන්ධයේ ව්‍යුහයේ වෛරය සහ ආදරය කියන කොටස් දෙක ම ඇති වෙනවා. සම්බන්ධය යහපත්ව පවතින කාලයේදී ආදරය කියන කොටස සුවිශාලයි.

වෛරය නොපෙනෙන තරම්. සම්බන්ධය බිඳුණු විට වෛරය කියන කොටස සුවිසල්ව මතු වෙනවා. එසේ ඉස්මතු වන කොටස ස්වභාවයෙන් යොමු වන්නේ වෙන් වූ පුද්ගලයා දෙසට නෙමෙයි තමන් දිහාවටයි. ඒ හේතු කරගෙන තමයි මේ ව්‍යාධිය ඇති වන්නේ. මේ ව්‍යාධිය කොටස් වශයෙන් විවිධ වන්න පුළුවන්.

ආදරය විවිධාකාර වුණත් යමෙක් තුළ මේ පුද්ගලයා පිළිබඳ තිබෙන ආකල්පය කුමක් වුණත් පැවැති සබඳතාව උත්තරීතර එකක් යැයි පවසන්න පුළුවන්. එසේ සිතීම තුළ ඔහුට ඇතිවන ව්‍යාධිය ප්‍රබල වෙනවා. මේ ආදී කරුණු නිසා මානසික වශයෙන් අපට ලැබෙන ප්‍රතිඵල වෙනස් වන්න පුළුවන්.

එම වෙනස් ප්‍රතිඵල මොනවාද ?

ආදර සබඳතාවක් ගිලිහී යාමේදී Adjustment Disorder කියන තත්ත්වයක් ඇති වෙනවා. මෙය සති කිහිපයක් වැනි කෙටි කාලයක් පැවතිය හැකියි. බොහොම හැඟීම්බර විදිහට දුක, කලකිරුණු බව, නින්ද නොයාම, ආහාර අරුචිය, එදිනෙදා වැඩ කටයුතු කරගත නොහැකි බව, කේන්ති යාම, වැනි හැඟීම්වල විෂමතා හා එදිනෙදා කාර්යයන් (නිදා ගැනීම, ආහාර ගැනීම) ආදිය කරගත නොහැකි වන්න පුළුවන්. ටික දවසක් මේ තත්ත්වය පැවතිලා නැවත යථා තත්ත්වයට පත් විය හැකියි.

පැරැණි පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳ මෙනෙහි කරමින් සම්බන්ධය පැවැති කාලයේ තිබූ යහපත් මතක සිහියට නැගීම මේ කාලයේදී දකින්න පුළුවන්. එහිදී බොහෝ විට තමාගේ වැරැදි දැක, මේ දේ වළක්වා ගැනීමට තමාට කළ හැකිව තිබූ දේ මොනවාද යන්න නිතර නිතර සිහියට නැගීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.

සමහර අය තමාගේ සබඳකමේ ප්‍රබලතාව හා ආදරය පිළිබඳ ඔහුගේ නිර්වචනය අනුව දීර්ඝකාලීන මානසික ආබාධයකට ලක්විය හැකියි. විෂාදිය නමින් හැඳින්වෙන්නේ මෙන්න මේ තත්ත්වයයි.මේ නිසා නිරන්තර දුක, පශ්චාත්තාපය, එදිනෙදා කටයුතුකරගත නොහැකි වීම, කිසිම දෙයකින් තෘප්තියක් නොලැබීම, අවධානය අඩු වීම, සර්ව අසුභවාදී සිතිවිලි හා නින්ද නොයාම, ආහාර අරුචිය, ලිංගික රුචිය අඩුවීම වැනි ශාරීරික රෝග ලක්ෂණ දීර්ඝකාලීනව ඇති වෙනවා.

ආදර සබඳතා බිඳ වැටීම් නිසා සමහරු දිවි නසා ගැනීමට ක්‍රියා කරනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ කොහොමද ?

විෂාදිය වැඩි වන්න වැඩි වන්න බලාපොරොත්තු රහිත බව සහ සිය දිවි නසා ගැනීම දක්වා වැඩි වන්න පුළුවන්. මේ ලෝකෙ සියදිවි නසා ගැනීම්වලින් 50 %ට වැඩිය සිදුවන්නෙ විෂාදිය නිසයි. ඒත් ප්‍රේම සබඳතාවලින් පසුව ඇතිවන විෂාදිය නිසා ඇතිවන සිය දිවි නසා ගැනීම් බොහොම අල්පයි.

ප්‍රේම සබඳතා බිඳ වැටුණු කෙනෙක්ගෙ මානසික මට්ටම යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා සහයෝගය දැක්විය හැක්කේ කෙසේද ?

ව්‍යසනයට ලක්වූ පුද්ගලයාට එදිනෙදා කාර්යයන්ගේ නියැළීමට අවශ්‍ය සහාය, ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු මට්ටමක සිටී නම් ඒ සඳහා උපකාර කිරීම මෙහිදී ඉතාමත්ම වැදගත්. සමහරු කියනවා “ඔය ගැන හිතන්න එපා. අමතක කරන්න” කියලා. ඒත් ඒවා යථාර්ථවාදී නෑ. අප අවදියෙන් සිටින විට ළඟ තිබෙන ප්‍රශ්නය ගැන හිතන්නෙ.

මේ වගේ මොහොතක කොහොමත් හිතට නැඟෙන්නෙ මේ ප්‍රශ්නය ගැනයි. මේ නිසා ප්‍රශ්නය ගැන නොසිතීම හෝ අමතක කිරීම කළ යුත්තේ මේ පුද්ගලයාව යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මේ දුක පවතින්නේ වෙනත් සබඳතාවක් ඇතිවන තුරු පමණයි. එවිට පෙර පරිදි නැවත ජීවිතයට මුහුණ දිය හැකියි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය

මනෝ වෛද්‍ය විශේෂඥ

හරිශ්චන්ද්‍ර ගාම්භීර



1 comment:

Anonymous said...

DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159