Thursday, 19 April 2012

Thursday, 18 August 2011

ජැක්විස්‌ ලකාන් යනු කවුද?

ලියන්නේ : සජිත් සිල්වා









ජැක්විස් මරී එමිල් ලකාන් (1901 අප්‍රියෙල් 13 – 1982 සැප්තැම්බර් 9) යනු සිග්මන් ෆොරොයිඩ් ගෙන් පසු මනොවිශ්ලේෂණයට අගනා මෙහෙවරක් කල ප්‍රංශ ජාතික මනොවිශ්ලේෂකයෙකු හා මනෝචිකිත්සකයෙකු විය. ඔහුගේ මත බොහෝ විවාදාත්මක වූ අතර බොහෝ බුද්ධිමතුන් වර්තමානයේත් ඔහු ප්‍රකාශ කල දෑ පිලිබදව සාකච්ඡාවට බදුන් කරයි. ඉතාමත් ගැඹුරින් මනස හා එහි ක්‍රියාකාරීත්වය ගැන නොයෙක් අංශ ඔස්සේ කතා කළ ලකාන් 1953 හි සිට 1981 දක්වා කාලය තුල බුද්ධිමය වැඩමුළු රාශියක් තුලින් තමාගේ මත ප්‍රකාශ කොට ඇත.

මුලින්ම සායනික වෛද්‍යවරයෙකු ලෙස මානසික රෝහලක කටයුතු කළ ඔහුගේ මත වර්තමානයේ සිනමා සිද්ධාන්ත, විසිවන සියවසේ ප්‍රංශ දර්ශනය, භාෂා නියාය, සමාජ විද්‍යාව , ස්ත්‍රීවාදී නියාය, විචාරාත්මක හා ශාස්ත්‍රීය නියාය,දර්ශනය, දේශපාලනය, සාහිත්‍ය විචාරය, semiotics හෙවත් නිමිත්ත ධර්මවාදය ,වාග්විද්‍යාව ඇතුළු නොයෙක් බුද්ධිමය විෂයන් කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇත.

1960 හා 1970 යන දශක තුල ප්‍රංශයේ බුද්ධිමතුන් කෙරෙහි ඔහුගේ මත බලපෑ අතර විශේෂයෙන් ප්‍රබල දාර්ශනික ප්‍රවාහයක් වූ පශ්චාත් ව්‍යූහවාදීන් හෙවත් post structuralist යන දාර්ශනික ප්‍රවාහය කෙරෙහිද ලකාන්ගේ මත ප්‍රබලව බලපෑ ඇත . ඔහුගේ අන්තර් විෂයානුබද්ධ සියලු ක්‍රියාරීත්වය (මත හා විවේචන) තුලින් තමාව ෆ්රෝඩියානුවෙක් ලෙස හදුන්වා දෙන ලකාන් , අවිඥාණය, castration complex යනුවෙන් හදුන්වන අණ්ඩහරණ උද්වේගය ( කප්පාදුකිරීමේ සංකාව) ,මමංකාරය නොහොත් ego, අනන්‍යකරණය, භාෂාව යන දෑ ආත්මගත සංජානනයන් හෙවත් ආත්මගත හැගීම් (subjective perception) ලෙස ප්‍රකාශ කොට ඇත.

එමිලී සහ අල්ෆ්රෙඩ් ලකාන් යන පවුලට දාව පැරිසියේ උපත ලද ලකාන්, තුන දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා විය.ඔහුගේ පිය සාර්ථක සබන් සහ තෙල් වෙළෙන්දෙක විය.ඔහුගේ මව දැඩි ලෙස කතෝලික භක්තිය ඇදහු තැනැත්තියක් බැවින් ලකාන්ගේගේ බල සහෝදරයා කතෝලික ආරාමයකට ගිය අතර ලකාන්ද ජේසු නිකායක පුජකවරුන් විසින් මෙහෙයවනලද පෞත්ගලික පාසලක් වූ කොලේජ් ස්ටැනිස්ලාස් ඩි පැරිස් හි අධ්‍යාපනය හදාරන ලදී.










1920හි මුල් භාගය තුල දක්ෂිනාංශික දේශපාලන ප්‍රවාහයක් වූ ඇක්ෂන් ෆ්රන්සෙස් නමැති දේශපාලන රැස්වීම් වලට සහභාගී වූ ඔහු එහි නිර්මාතෘ සහ ප්‍රදානම සංකල්පවේදියා වූ චාල්ස් මොරාස් හමු විය. චාල්ස් මොරාස් එකල ප්‍රංශයේ රාජාණ්ඩු වාදියෙක් , පාර්ලිමේන්තු විරෝදී හා විප්ලව විරෝදී තැනැත්තෙකු ලෙස ප්‍රසිද්දියක් දරූ පුද්ගලයෙකි. විසිවන ශතවර්ශයේ මුල් භාගයේ යුරෝපයේ ප්‍රදානතම දේශපාලනික සංකල්ප වේදියෙක් හා බුද්ධිමය බලපෑමක් කළ පුද්ගලයෙකු වූ මොරාස් ගේ මත ෆැසිස්ට් වාදය පැමිණීමේ පෙර ලකුණු පෙන්විය.


1020 සේ දී කුඩා ශරීරයක් තිබු හෙයින් හමුදා සේවයෙන් ප්‍රතික්ශේප වූ ලකාන්, වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව ,1926 යේ දී පැරිසියේ වූ සාන්ත අනා රෝහලේ මනෝ චිකිත්සකයෙකු සේ ප්‍රවීණත්වයක් ලැබීය. මෙකල ඔහු කාල් ජැස්පර් සහ මාර්ටින් හයිඩෙගර් ගේ දර්ශනයන් කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ අතර ඇලෙක්සැන්ඩර් කොජෙව් විසින් ජර්මන් ජාතික විඥානවාදියෙක් ( German Idealist) වූ ජෝර්ජ් විල්හෙල්ම් ෆ්රේඩ්රික් හේගල් ගැන මහේයවනලද රැස්වීම් වලට සහභාගී විය.

ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්රික් හේගල් යනු ජර්මන් විඥානවාදයේ පුරෝගාමී ආරම්භකයෙකු වූ අතර කාල් මාක්ස් , ඩේවිඩ් ස්ට්‍රවුස්, බ්රුනෝ බෝයර්, තෝමස් හිල් ග්‍රීන්, ජෝන් පොල් සාත්‍ර, ෆ්‍රැන්සිස් ෆුකුයාමා, සැල්වෝජ් සිසෙක්,රොබට් බැරැන්ඩන් වැන්නන්ගේ දර්ශනයන් කෙරෙහි මහත් බලපෑමක් ඇති කළ අයෙකි .

එම දශකයේ සහ 1938 වනතෙක් ලකාන් විසින් මනොවිශ්ලේෂණය පිලිබදව රුඩොල්ෆ් ලොවෙන්ස්ටයින් මගින් ඉගෙන ගන්නා ලදී. රුඩොල්ෆ් ලොවෙන්ස්ටයින් ප්‍රංශ මනොවිශ්ලේෂක සංගමයේ පුරෝගාමියෙකු වූ අතර පෝලන්තයේ ඉපදී ජර්මනියේ මනොවිශ්ලාෂණය ඉගෙන ප්‍රංශයේ සහ ඇමෙරිකාවේ මනොවිශ්ලේෂක කටයුතු වල යෙදුන ඉතාමත් ප්‍රසිද්ධ විද්වතෙකු විය. නමුත් ලකාන් ලොවෙන්ස්ටයින්ගේ විශ්ලේශක බොහෝ දීර්ඝ සහ සාර්ථක බවින් අඩු ඒවා වශයෙන් සලකනලදී.

කරුණු මෙසේ වුවද බොහෝ ප්‍රසිද්ධ කරුණක් වන්නේ ලකාන් තමාගේ මනොවිශ්ලෂණයට ප්‍රවිෂ්ටවීම බලපෑ පුද්ගලය හා තමාගේ එකම මනෝ විශ්ලේෂක ගුරුවරයා ලෙස සලකන්නේ ඩි ක්ලම්බෝල්ට් නම් සාන්ත අනා මානසික රෝහලේ ප්‍රදානිය වූ මනොවිශ්ලේෂකයාය. වර්තමානයේ ක්ලම්බෝල්ට් ගැන මහත් තොරතුරු සොයාගැනීමට නැතත් ඔහු ඉතාමත් දක්ෂ පුද්ගලයෙකු වූ අතර චිත්‍ර ශිල්පියෙක් , ඡායාරූප ශිල්පියෙක් ලෙසත් මහත් ප්‍රසිද්දියක් දරූ පුද්ගලයෙක් විය. ඩි ක්ලම්බෝල්ට් අතින් සිදුවූ විශේෂිතම කාර්යය වන්නේ ‌‍‌මනෝව්‍යාධික නිමිති විද්‍යාව ( psychotic symptomatology )පිළිබදව සිදුවූ අධ්‍යනයන්ය.

1931 දී ලකාන් අවසරලත් අධිකරණ මනොචිකිත්සකයෙකු ලෙස පත්විය.1932 දී ඔහු ලියු නිබන්ධනය වූ පෞරුෂත්වයට අදාල පීඩනෝන්මාද මානසික රෝගය අරභයා ( On Paranoiac Psychosis in its Relations to the Personality )යන්නට ඩොක්ටරෙට් දෙතාට් යන උසස් උපාධිය ලැබුණි. මනොවිශ්ලේෂකයින් මෙය නොසලකා හැරියද නොයෙකුත් බුද්ධිමය ක්ෂේත්‍රයන් තුළ විශේෂයෙන්ම අධිතාත්විකවාදී කලාකරුවන් අතර මෙයට මහත් පිළිගැනීමක් ලැබුණි . අවුරුදු දෙකකට පසු ප්‍රංශ මනොවිශ්ලේෂක සංගමය ලකාන් බදවා ගන්නා ලදි. 1934 රේ ජනවාරි මාසයේ ඔහු මාරි ලුයිස් බ්ලොන්ඩින් මැතිනිය සමග විවාහ ගිවිස ගත් අතර කැරොලින් නම් පළමු ගැහැණු දරුවා පවුලට එක්විය.1939 අගෝස්තු මස පිරිමි දරුවා වූ තිබෝට්‌ බිහිවිය.

1936 දී ලකාන් විසින් තම ප්‍රථම විශ්ලේෂනාත්මක වාර්තාව වන කැටපත් අවධිය ( Mirror Stage ) මාරිඅන්බෑඩ් පිහිටි ජාත්‍යන්තර මනොවිශ්ලේෂනාත්මක සංගම් සම්මේලනය වෙත පිරිනමන ලදී. ලකාන් තම කාලය ඉක්මවා දේශනය කරගෙන ගිය බැවින් දේශනය අවසාන වීමට පෙරම සංගම් ප්‍රධානී අර්නස්ට් ජෝන්ස් ලකාන්ගේ දේශනය නවත්වන ලදී. ඉන් උරණ වූ ලකාන් සංගමයෙන් පිටව එවකට බර්ලිනයේ පැවැත්වෙමින් තිබූ ඔලිම්පික් තරගය නැරබීමට ගියේය. අද ඔහු කළ දේශනයේ පිටපතක් සොයාගැනීමට නැත.

ලකාන් දෙවන ලෝක යුද සමයේ සිටි ක්‍රියාකාරී බුද්ධිමතෙකු වූ අතර අන්ද්රේ බ්‍රෙටන්, ජෝර්ජස් බ්‍රෙටෙඉල්,සැල්වදෝර් ඩාලි සහ පැබ්ලෝ පිකාසෝ වැන්නන් ඇසුරු කරන ලදි. මාරීස් චෝයිසි නම් ප්‍රංශ දර්ශනවේදියක් සහ ගත්කතුවරියක් විසින් අරබන ලද ම්වුමන්ට් සෛක් නම් සංගමයට සහභාගී විය. අධිතාත්වික වාදී සගරාවක් වූ මිනටුවා හි ඔහුගේ ලිපි පල කරන ලදි.

මිනටුවා (1933 – 1939 ) වූ කලී එකල තිබූ විශිෂ්ට ගනයේ කලා හා සාහිත්‍ය විචාරයන් සදහා වෙන්වුන සගරාවක් වූ අතර ඇල්බට් අකිරා නම් සුවිස් ජාතික ප්‍රකාශකය විසින් අධිතාත්විකවාදී කලාකරුවෙක් වූ අන්ද්‍රේ බ්‍රෙටන් ලවා එය කරවන ලදි. එහි මුල් පිටුව සදහා පැබ්ලෝ පිකාසෝ වැන්නන් චිත්‍ර කර ඇති අතර යුද්දයට පෙර පැවති අධිතාත්වික වාදී මතිමතාන්තර සදහා මිනටුවා කදිම තෝතැන්නක් විය. එලෙසම වැඩි ප්‍රසිද්දියක් නොලබා සිටි දක්ෂ කලාකරුවන් රැසක් ලෝකයට හදුන්වාදීමේ ගෞරවය එම සගරාවට හිමිවේ. හාන්ස් බෙල්මර්, වික්ටර් බ්රෝනර්, පොල් ඩෙල්වෝක්ස්, ඇල්බර්ටෝ ගියාකොම්ටි, රොබර්ටෝ මැටා වැනි කලාකරුවන් මිනටුවා සගරාව තුලින් මහත් ප්‍රසිද්දියක් ලැබුවෝ වෙති.

එලෙසම ලකාන් අයර්ලන්ත ජාතික ගත්කතුවරයෙකු වූ ජේම්ස් ජොයිස් විසින් ලියන ලද යුලිසස් නවකතාවේ පළමු මහජන කියවීමටද සහභගී විය.මෙයින් පැහැදිලිවන කරුණ වන්නේ ලකාන්ගේ මනොවිශ්ලේෂණයට ඇති ආශාව ඔහුගේ අධිතාත්වික දර්ශන ප්‍රවාහයට ඇති ආශාවට දෙවන වන බවයි.

Saturday, 13 August 2011

බ්ඳුණු පෙම ගැන දුක් වන්නේ නැවත කෙනෙක් හමුවන තුරු පමණයි

උපුටා ගැනීම :www.dinamina.lk

පෙම් සබඳතාවක් තිබෙන කාලෙ අහස උසට ගොඩ නගාගෙන තිබුණු මාලිගා එය බිඳ වැටීමත් සමඟම සුණු විසුණු වී යනවා. එවිට ඇතිවන දුක දරා ගැනීම ඉතාමත් ම අපහසුයි. ඒ නිසාම මිනිසුන් ජීවිතයෙන් සමු ගැනීමට පවා උත්සාහ කරන බව බොහෝ විට දකින්න ලැබෙන දෙයක්.

පෙම් සබඳතාවක් කියන්නෙ මොකක්ද ? එය බිඳ වැටුණු විට ඇතිවන වේදනාව මානසිකව බලපාන්නෙ කොහොමද ? විෂාදිය වැනි තත්ත්වයන් ඇතිවන්නේ කෙසේද ? මෙවන් කෙනෙක්ගෙ සිත සැනසිය යුත්තේ කොහොමද ? ආදී කරුණු පිළිබඳ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර ගාම්භීර මහතා සමඟ කළ කතාබහකි මේ.

ආදරය කියන්නේ ?

ලිංගික සබඳතාවක් අරබයා ගොඩනැගෙන්නා වූ සබඳතාවක්. එම සබඳතාව දීර්ඝ කාලයක් පැවැතීම නිසා යම් කිසි ළෙංගතුකමක් ඇති වෙනවා. ඒ මත ඇතිවන්නා වූ බැඳීමක් ආදරය කියන එකෙන් අරුත් ගැන්වෙනවා.

මේ වගේ එකිනෙකාට බද්ධ වන දීර්ඝකාලීනව සම්බන්ධ වන දෙයක් ආදරය යන්නෙන් අදහස් කළ හැකියි. හමුවීම, කැමැතිවීම හා එක්ව වැඩකටයුතු කිරීම යන දේ (ලිංගික සබඳතාවක් දක්වා වූ) දක්වා වූ සුවිශාල සම්බන්ධයක් බවට මෙය පත්වන්න පුළුවන්. ඊට පසුව දරුවන් ලැබීම දක්වා යන්නා වූ දෙයක්. ඒ අනුව ආදරය කියන්නෙ ලිංගිකත්වයට ප්‍රවිශ්ට වීම සඳහා කරන උපායක් විදිහට අර්ථ ගන්වන්න පුළුවන්.

නැතුව ආදරය කියන්නෙ ආත්ම ගණනක් පතාගෙන එන පිවිතුරු දිව්‍යමය වූ දෙයක් නෙමෙයි.

ආදර සබඳතාවක් බිඳ වැටීම ජීවිතයට බලපාන්නෙ කොහොමද ?

ආදර සම්බන්ධයක් බිඳ වැටෙනවා කියන්නෙ අපට තිබූ දෙයක් නැති වෙනවා කියන එකයි. ඒක මහ ව්‍යසනයක්, සමහරු කියන්නෙ ඒ දෙන්නා නොගැලපෙන නිසා වෙන් වුණා කියලයි. එකිනෙකාට නොගැලපෙන බව කියන කොට ඔවුන්ගේ සිතුම් පැතුම්, චාරිත්‍ර වාරිත්‍ර, අධ්‍යාපන මට්ටම්, සමාජ මට්ටම් (කුලය, ධනය ආදිය) හේතුකරගෙන එක්කෝ පුද්ගලයන් අතර නැත්නම් පවුල් අතර නොගැලපෙන බව නිසා වෙන්වීමක් විය හැකියි.

ඒකට හේතුව විවාහයක් කියන්නෙ පුද්ගලයන් අතර තිබෙන සම්බන්ධයක් පමණක් නෙමෙයි, පවුල් අතර හට ගන්නා සම්බන්ධයක් වන නිසයි. මේ බව සමාජ විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් දිගින් දිගටම විස්තර කළ දේවල්.

සමහරු වෙනත් සබඳතා නිසා වෙන් වෙනවා. ඒකෙන්ම පේනවා මෙහි තිබෙන ව්‍යාජ බව. තමන්ට ලැබී සිටිනවාට වඩා ප්‍රියජනක ධනවත් කෙනෙක් ලැබුණොත් ඒ කෙනා හා සබඳතාවක් පවත්වාගෙන යාම සඳහා වෙන් වීම් සිදු වෙනවා. ඒ වගේම සමහරු සබඳතා කීපයක් පවත්වාගෙන යනවා. ඒකෙන්ම තේරෙනවා මෙහි අරුත මොකක්ද කියන එක. කෙසේ වෙතත් දීර්ඝ කාලයක් එකිනෙකා මත යැපෙමින් පවතින සම්බන්ධය නැතිවීමෙන් සිදු වන්නේ ව්‍යසනයක් හට ගැනීමයි.

එවැනි ව්‍යසනයක් අපේ මනසට බලපාන්නෙ කොහොමද ?

ආදර සබඳතාවක දී අලුත් මතක රාශියක් එකතුවෙලා අපේ මොළයේ යම් කිසි වෙනස්කම් රාශියක් ඇති වෙනවා. ඒක නැති වෙනවා කියන්නේ එය දරුණු විදිහට අපේ මොළයට බලපානවා කියන එකයි. ඒක තමයි ව්‍යසනයේ ආරම්භය. එසේ වූ විට විශාල පීඩාවක් ඇති වෙනවා. එම පීඩාව රැඳී පවතින්නේ ආදර සබඳතාවයේ තිබූ ගුණාත්මකභාවය මතයි.

නැතිව ප්‍රේමයේ තිබෙන උත්තරීතර බව මත නෙමෙයි. දෙදෙනාගෙන් එක් කෙනෙක්ගෙ කැමැත්ත මත වෙන් වුණා නම්, එය පීඩාවක් වන්නෙ එක් පාර්ශ්වයකට පමණයි. ඒක ඒ කෙනාට දැඩි කම්පනයක් වෙනවා. සුහදව වෙන්වුණා නම් දෙදෙනාටම එතරම් බලපෑමක් සිදු වන්නේ නෑ.

මේ හේතු කරගෙන ඇතිවන මානසික ආපදා කෙබඳු ද ?

සිග්මන් ෆ්‍රොයිඩ් ට අනුව දෙදෙනක් අතර සබඳතාවක් ඇතිවන විට ඒ හේතු කරගෙන එම සම්බන්ධයේ ව්‍යුහයේ වෛරය සහ ආදරය කියන කොටස් දෙක ම ඇති වෙනවා. සම්බන්ධය යහපත්ව පවතින කාලයේදී ආදරය කියන කොටස සුවිශාලයි.

වෛරය නොපෙනෙන තරම්. සම්බන්ධය බිඳුණු විට වෛරය කියන කොටස සුවිසල්ව මතු වෙනවා. එසේ ඉස්මතු වන කොටස ස්වභාවයෙන් යොමු වන්නේ වෙන් වූ පුද්ගලයා දෙසට නෙමෙයි තමන් දිහාවටයි. ඒ හේතු කරගෙන තමයි මේ ව්‍යාධිය ඇති වන්නේ. මේ ව්‍යාධිය කොටස් වශයෙන් විවිධ වන්න පුළුවන්.

ආදරය විවිධාකාර වුණත් යමෙක් තුළ මේ පුද්ගලයා පිළිබඳ තිබෙන ආකල්පය කුමක් වුණත් පැවැති සබඳතාව උත්තරීතර එකක් යැයි පවසන්න පුළුවන්. එසේ සිතීම තුළ ඔහුට ඇතිවන ව්‍යාධිය ප්‍රබල වෙනවා. මේ ආදී කරුණු නිසා මානසික වශයෙන් අපට ලැබෙන ප්‍රතිඵල වෙනස් වන්න පුළුවන්.

එම වෙනස් ප්‍රතිඵල මොනවාද ?

ආදර සබඳතාවක් ගිලිහී යාමේදී Adjustment Disorder කියන තත්ත්වයක් ඇති වෙනවා. මෙය සති කිහිපයක් වැනි කෙටි කාලයක් පැවතිය හැකියි. බොහොම හැඟීම්බර විදිහට දුක, කලකිරුණු බව, නින්ද නොයාම, ආහාර අරුචිය, එදිනෙදා වැඩ කටයුතු කරගත නොහැකි බව, කේන්ති යාම, වැනි හැඟීම්වල විෂමතා හා එදිනෙදා කාර්යයන් (නිදා ගැනීම, ආහාර ගැනීම) ආදිය කරගත නොහැකි වන්න පුළුවන්. ටික දවසක් මේ තත්ත්වය පැවතිලා නැවත යථා තත්ත්වයට පත් විය හැකියි.

පැරැණි පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳ මෙනෙහි කරමින් සම්බන්ධය පැවැති කාලයේ තිබූ යහපත් මතක සිහියට නැගීම මේ කාලයේදී දකින්න පුළුවන්. එහිදී බොහෝ විට තමාගේ වැරැදි දැක, මේ දේ වළක්වා ගැනීමට තමාට කළ හැකිව තිබූ දේ මොනවාද යන්න නිතර නිතර සිහියට නැගීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.

සමහර අය තමාගේ සබඳකමේ ප්‍රබලතාව හා ආදරය පිළිබඳ ඔහුගේ නිර්වචනය අනුව දීර්ඝකාලීන මානසික ආබාධයකට ලක්විය හැකියි. විෂාදිය නමින් හැඳින්වෙන්නේ මෙන්න මේ තත්ත්වයයි.මේ නිසා නිරන්තර දුක, පශ්චාත්තාපය, එදිනෙදා කටයුතුකරගත නොහැකි වීම, කිසිම දෙයකින් තෘප්තියක් නොලැබීම, අවධානය අඩු වීම, සර්ව අසුභවාදී සිතිවිලි හා නින්ද නොයාම, ආහාර අරුචිය, ලිංගික රුචිය අඩුවීම වැනි ශාරීරික රෝග ලක්ෂණ දීර්ඝකාලීනව ඇති වෙනවා.

ආදර සබඳතා බිඳ වැටීම් නිසා සමහරු දිවි නසා ගැනීමට ක්‍රියා කරනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ කොහොමද ?

විෂාදිය වැඩි වන්න වැඩි වන්න බලාපොරොත්තු රහිත බව සහ සිය දිවි නසා ගැනීම දක්වා වැඩි වන්න පුළුවන්. මේ ලෝකෙ සියදිවි නසා ගැනීම්වලින් 50 %ට වැඩිය සිදුවන්නෙ විෂාදිය නිසයි. ඒත් ප්‍රේම සබඳතාවලින් පසුව ඇතිවන විෂාදිය නිසා ඇතිවන සිය දිවි නසා ගැනීම් බොහොම අල්පයි.

ප්‍රේම සබඳතා බිඳ වැටුණු කෙනෙක්ගෙ මානසික මට්ටම යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා සහයෝගය දැක්විය හැක්කේ කෙසේද ?

ව්‍යසනයට ලක්වූ පුද්ගලයාට එදිනෙදා කාර්යයන්ගේ නියැළීමට අවශ්‍ය සහාය, ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු මට්ටමක සිටී නම් ඒ සඳහා උපකාර කිරීම මෙහිදී ඉතාමත්ම වැදගත්. සමහරු කියනවා “ඔය ගැන හිතන්න එපා. අමතක කරන්න” කියලා. ඒත් ඒවා යථාර්ථවාදී නෑ. අප අවදියෙන් සිටින විට ළඟ තිබෙන ප්‍රශ්නය ගැන හිතන්නෙ.

මේ වගේ මොහොතක කොහොමත් හිතට නැඟෙන්නෙ මේ ප්‍රශ්නය ගැනයි. මේ නිසා ප්‍රශ්නය ගැන නොසිතීම හෝ අමතක කිරීම කළ යුත්තේ මේ පුද්ගලයාව යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මේ දුක පවතින්නේ වෙනත් සබඳතාවක් ඇතිවන තුරු පමණයි. එවිට පෙර පරිදි නැවත ජීවිතයට මුහුණ දිය හැකියි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය

මනෝ වෛද්‍ය විශේෂඥ

හරිශ්චන්ද්‍ර ගාම්භීර



මිනිස් සිත ගැන කියූ සිග්මන් ෆ්‍රොයිඩ්

















උපුටා ගැනීම : www.danuma.lk

නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හැඳීන්වෙන්නේ සිග්මන් පෙ‍්‍රායිඩ්ය. ඔහු ඉපැදුණේ 1856 මැයි 6 වැනි දින මොරාවේ නම් නුවර ප‍්‍රයිබර්ග් නමැති ගම්මානයේදියි. අද එම රට හඳුන්වන්නේ චෙකොස්ලෝවැකියාව යන නමින්. සිග්මන් ප්‍රොයිඩ්ගේ පියා වූ ජෙකොබ් ලොම් වෙළෙඳාමේ නිරත වූවෙක්.සිග්මන් පෙ‍්‍රායිඩ්ට වයස අවුරුදු තුනක් පමණ වන විට ඔහුගේ පවුලෙ උදවිය වියානා නුවර පදංචියට ගියා. පෙ‍්‍රායිඩ් හැදි වැඩුණෙත් ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කෙළෙත් වියානා නුවරයි.

සිග්මන් කුඩා කල සිටම ඉගෙනීමට දක්‍ෂකම් පෙන් වූ දරුවෙක්. නිවසේ ගත කරන සෑම මොහොතකම පොත්පත් කියවන්නටයි පෙ‍්‍රායිඩ් කැමැත්තක් දැක්වූයේ. අතමිට සරු පවුලක් නොවුණද තම පුත‍්‍රයාගේ බුද්ධිමත් භාවය ගැනත් දක්‍ෂතා ගැනත් මනා අවබෝධයෙන් සිටි ජෙකොබ් ඔහුට හැකි අයුරින් තම පුත‍්‍රයාට අධ්‍යාපනය ලබා දෙන්නට උත්සාහ ගත්තා.

නිහඬතාවයට බෙහෙවින් පි‍්‍රය කළ ප්‍රොයිඩ්ට එවැනි වාතාවරණයක් ලබාදීම පිණිස ඔහුගේ පියා පුතාට වෙනම කාමරයක්ද සකසා දුන්නා. නිවසේ වූ පියානො වාදන හඬට පවා සිග්මන් කැමැති වූණේ නැහැ. ඔහු මේ ගැන නිතරම තම දෙමව්පියන්ට පැමිණිලි කළා. අන්තිමේදී සිදු වූයේ පියානෝව විකුණා දමන්නටයි.දෙමව්පියන්ගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් උසස් අධ්‍යාපනයක් ලබන්නට සිග්මන් සමත් වුණා. වර්ෂ 1881 දී හෙතෙම වෛද්‍ය උපාධිය ලබා ගැනීම පිණිස වියානා සරසවියට ඇතුළු වුණා. එහිදී වෛද්‍ය උපාධිය හිමි කරගත් හෙතෙම සිග්මන් පෙ‍්‍රායිඩ් මින් සෑහීමකට පත් වූයේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ මිනිස් මොළය ගැන ගැඹුරට අධ්‍යයනය කරන්නටයි. ඒ නිසා ඔහු පැරීසිය බලා පිටත් වුණා.

එහිදී ඔහුට මිනිස් සිත ගැන පර්යේෂණ පැවැත් වූ මහාචාර්ය ජාන් චාර්කොට්ව ඇසුරු කිරීමේ අවස්ථාව උදා වුණා. විකෘති මනසක් ප‍්‍රකෘත කරන්නට මහාචාර්ය චාර්කොට් උපයෝගි කරගත්තේ රෝගීයාව මෝහනය කිරීමේ ප‍්‍රතිකර්මයයි. මානසික රෝගියකු මෝහනය කිරීමේදී පත්වන විවිධ මානසික අවස්ථා මනා ලෙස අධ්‍යයනය කිරීමට සිග්මන්ට අවස්ථාව උදාවූයේ මෙහිදීයි.

මිනිස් මනස ගැන කරුණු හැදෑරූ සිග්මන් පෙ‍්‍රායිඩ් මනෝ විශ්ලේෂණවාදය ලොවට හඳුන්වා දෙන්නට පුරෝගාමී වුණා. ඔහුගේ මෙම සොයා ගැනීම ලොවට හෙළි කළ ද බොහෝ දෙනෙක් එම මතත් සමග එකඟ වූයේ නැහැ. එකල සිටි විද්වතුන් සිග්මන්ව අප‍්‍රසාදයට පත් කරමින් කතා කළා. සිග්මන් ඉදිරිපත් කළ මත විවිධ වාද විවාදයන්ට භාජනය වුණා. සිග්මන් පෙ‍්‍රායිඩ්ගේ ප‍්‍රධාන ගෝලයන් දෙදෙනා වුණු ඇල්ෆ‍්‍රඩ් ඇඩ්ලර් සහ කාල් ජුංග් ද තම ගුරුවරයාට එරෙහිවයි කතාකළේ. තමන්ගේ මතවාද කවුරුන් ප‍්‍රතික්ෂේප කළද තමාට කෙතරම් ගැරහුම් අවමාන වලට මුහුණ දෙන්නට සිද්ධ වුණද සිග්මන් පෙ‍්‍රායිඩ් ඉන් බිඳකුදු සැළුණේ නැහැ. තමන්ගේ මතය තව දුරටත් තීව‍්‍ර කළ හැකි සාධක සොයමින් ඔහු ඒ ඔස්සේ පර්යේෂණ මෙහෙයෙව්වා.මිනිස් යටි සිත , සිහින විග‍්‍රහය, ආදි මිනිස් සිතින් ඓශ්චර්යමත් සංසිද්ධීන් රැසක් පිළිබඳ වටිනා සොයා ගැනීම් බොහෝමයකට මුල පුරන්නට සිග්මන්ට හැකි වූයේ මේ පර්යේෂණ නිසාවෙනි. සිග්මන් ප‍්‍රකාශයට පත් කළ ‘ ස්වප්න (සිහින ) විග‍්‍රහය’ ලොව හෙල්ලූ පොතක් වුණා.

එතෙක් ඔහුව අවඥාවට ලක් කළ මහා ප‍්‍රාඥයන්ට පවා අකමැත්තෙන් වුවද සිග්මන්ව පිළිගන්නට සිද්ධ වුණේ මේ පොතේ සඳහන්ව තිබුණු කරුණු නිසායි.සිග්මන්ගේ දැනුම මිනිස් සිතට පමණක් සීමා වූයේ නැහැ. ඔහු භාෂා හතක දැනුම ඇත්තෙක් . මෙම භාෂා දැනුම ඔහුගේ සොයා ගැනීම් වලට මහත් සේ දායක වුණා. තම මත වාද ලොව පුරා ප‍්‍රචලිත කරන්නටත් තමන්ගේ දැනුම තව තවත් වැඩි කරගන්නටත් මේ භාෂා ඥානය මහත් සේ ඉවහල් වුණු බවයි සිග්මන් පවසා සිටියේ.

සිග්මන් පෙ‍්‍රායිඩ් ඉදිරිපත් කළ සංකල්ප න්‍යායන් හුදෙක් මනෝවිද්‍යාවට පමණක් සීමා වුණේ නැහැ. චිත‍්‍ර කලාව, සාහිත්‍ය චිත‍්‍රපට, අධ්‍යාපනය , ළමයින් හැඩ ගැන්වීම , මානව විද්‍යාව වැනි විවිධ අංශ කෙරේද ඔහුගේ ආභාෂය පැතිරුණා.දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ හමුදාව ඔස්ටි‍්‍රයාව ආක‍්‍රමණය කළ අතර යුදෙව් ජාතිකයෙකු වුණූ සිග්මන් පෙ‍්‍රායිඩ්ටද හිට්ලර් ගේ හමුදාවෙන් මරණ තර්ජන එල්ල වුණා. ඒ නිසා ඔහු 1938 දී වියානාව අතහැර දමා බි‍්‍රතාන්‍යයට පළා ගියා. එහෙත් ඔහු දිගු කලක් බි‍්‍රතාන්‍යයේ ජීවත් වූයේ නැහැ. 1939 සැප්තැම්බර් 23 වැනිදා සිග්මන් පෙ‍්‍රායිඩ් මිය යන්නේ පිළිකා රෝගය වැළඳීම නිසයි.
ඉරූෂා ග්‍රේරෝ

Thursday, 28 July 2011

දුර්ගගිරි නො විය යුතු අපේ ශාස්තී‍්‍රය රචනා - සේපාල් අමරසිංහ

වර්තමානයේ අප රටේ අලුත් පරම්පරාව කෙරෙන් අමුතු ලිවීම් රටාවක් මීට වසර කීපයකට පෙර සිට පාඨක ජනයාට අත්දකින්නට ලැබේ.

මා දන්නා තරමින් එබඳු ලිවීම්හි පුරෝගාමී වූවෝ 2004 සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ එක්ස් කි‍්‍රයාකාරිකයෝ යි.

සමාජය, දේශපාලනය සාහිත්‍යය හෝ සමස්ත කලාව, හෝ සංස්කෘතිය නවමු කියැවීම් රටාවකට යොමු කළ එකී ලිවීම්හි ගැවැසීගත් වෙසෙසි බව වූයේ පාඨක ජනයා මින් පෙර නොඇසූ නොකියවූ නුහුරු වචන හා යෙදුම් හා හැඳිනුම් බොහෝසෙයින් උපයෝගී කොට ගෙන ඒවා නිමැවී තිබීම යි.

එහෙත් ඒ ලියැවිලි හැමකක ම වාගේ දුරවබෝධ බවක් දැක්ක හැකි විය.

යම් ලියැවිල්ලක් පාඨකයකු හට දුරවබෝධවීමට බලපාන හේතු සාධක දෙකක් මූලික ව ම ඇති බව මම අදහමි. ඉන් පළමුවැන්න වන්නේ, අප ඉහතින් කතා කළ ලියැවිල්ලේ ඇති නීරස, කර්කශ පද පෙළගැස්ම සහ එහි අන්තර්ගත කරුණුවල ඇති දුරවබෝධ බව යි.

දෙවැනි හේතු සාධකය වන්නේ, ඉහත සඳහන් කළා වැනි වූ ලියැවිලි වුණත් ඉතා සාවධාන ලෙස කියවා අන්තර්ග‍්‍රහණය කැර ගනිමින් ජීර්ණ කොට පත්තියම් කැර ගන්නට හැකි තරමේ අවශෝෂණ ශක්තියකින් හෙබි පාඨක පිරිසක් දැන් දැන් අප සමාජයේ නොසිටීම යි.

දැන් ඉහත කාරණය විදාරණය කොට වටහා ගත යුතු ව ඇත. යම් ලියැවිල්ලක් පාඨක සමාජයට දුරවබෝධවීම සිදුවිය හැකි සාධක දෙකකි.

(i) ලියන්නා ගේ බස රසවත් මෙන් ම අනෙකාට වටහාගත හැකි අන්දමේ විශ්ලේෂී සංශ්ලේෂී බසක් හෝ භාවිතයක් නොවීම.

(ii) පාඨකයාගේ පාර්ශ්වයෙන් ඔහු තමා කියවන ලියැවිල්ලේ ඇති දැනුම හා යාවත්කාලීන නො වී සිටීම සේ ම එබඳු වෑයමකට හෝ කිසිදු සූදානමක් නොමැති වීම.

පළමු කරුණු දැක්වීමට අනුව ලියන්නා ගේ බස නීරස මෙන් ම අනෙකාට වටහා ගත නො හැකි අන්දමේ භාෂා භාවිතයක් වීම නිසා කියවන්නාහට එකී ලියැවිල්ලේ අන්තර්ගතය වටහා ගත නොහැකි වීමත්, දෙවැනි ව ලියන්නා ගේ බස හෝ ලිවීමේ පෙළගැස්ම කෙසේ වෙතත්, කියවන්නා ඊට කිසිදු සූදානමක් නැති අයකු වීම ද බරපතළ වරදකි.

එබැවින් යම් ලියැවිල්ලක් දුරවබෝධ යැයි නම් කළ පමණින් එය ලියූ ලේඛකයා ගේ අවුලක් ලෙස ම වටහා ගැනීම නිවැරැදි නොවන බව ඔබට කීමට මෙතෙක් වෙහෙසුණෙමි.

එහෙත් මේ රචනාවේ මූලික මැය ‘ගූඪ රචනාව‘ හෙවත් ’Obscurantism’ ඉහත අප විවරණය කළ රචක, පාඨක තත්ත්වයන්ට වඩා ඔබ්බට ගිය මඳක් සංකීර්ණ තත්ත්වයකි.

එය අපට කෙසේ නම් වටහා ගනු හැකි ද? ඒ සඳහා කි‍්‍ර.පූ. හතරවන සහ පස්වන සියවස් කාල වකවානුව වෙත එබිකම් කළ යුතුව ඇත.

කි‍්‍ර.පූ.360 දී පමණ දාර්ශනික ප්ලේටෝ පඩිවරයා අතින් නිමැවුණැ යි සැලැකෙන ‘ද රිපබ්ලික්’ නම් දීර්ඝ රචනාවේ සයවැනි කොටසේ වන සඳහනක් මීට මුල පුරා ඇත.

මීට අදාළ ව එහි වන සඳහන වන්නේ, ‘ෂිප් ඔෆ් ස්ටේට්’ Ship of State යන්න යි.

ඉන් ප්ලේටෝ අරුත් ගැන්වූයේ ඔහු ලෝකයා වෙත ඉදිරිපත් කළ පරමාදර්ශී රාජ්‍යයේ නායකයා හෙවත් කප්පිත්තා පිළිබඳව යි. ප්ලේටෝ ප‍්‍රකාශ කෙළේ, මේ පරමාදර්ශී රාජ්‍යය නමැති නෞකාවේ කප්පිත්තා දාර්ශනික නිරිඳකු විනා අන් කිසිවකු නොවන බව යි.

Philosopher King(s) නමින් ප්ලේටෝ හැඳින්වූ එකී පරමාදර්ශී රාජ්‍ය නායකයා හෝ නායකයන් (ද රිපබ්ලික් VII) තම රාජ්‍ය පාලනය උදෙසා යම් විටෙක පවසන දෑ ඉන්තේරුවෙන්ම සත්‍ය නොවිය හැකි නමුත්, ප්ලේටෝ එකී ප‍්‍රකාශ හැඳින්වූයේ ‘නෝබල් ලයිස්’ Noble lies හෙවත් උදාර මුසා බස් ලෙස යි.

දැන් අපට විමසා බැලීමට භාර වී ඇත්තේ ප්ලේටෝ එදා හඳුන්වා දුන් Noble lies හෙවත් උදාර මුසා බස් කෙසේ නම් අප මුඛ්‍ය මැය වූ ‘ගූඪ රචනා’ කෙරේ බලපැවැත්වී ද යන්න සහ එනයින් මෙකී ගූඪ රචනා කෙසේ නම් සාධාරණීකරණය වී ඇත් ද යන්න යි.

මේ නිදර්ශන ඡේදය කියවන්න.

”ඔෂ්විට්ස් ලෝකය (හිට්ලර් ගේ වධක කඳවුරක්) භාෂණයට (Speech) එපිටින් රැඳී තිබෙන්නේ එය තර්ක බුද්ධියට (Reason) එපිටින් රැඳී තිබෙන අයුරිනි.

කතා කිරීමට නොහැකි දේ ((Unspeakable) ගැන කතා කිරීමට යෑමෙන්, තර්ක බුද්ධි විෂයක මිනිස් සත්‍යයේ ධාරකයා සහ නිර්මාපකයා හැටියට භාෂාව සතු උර දී දරා සිටීමේ හැකියාව අවදානමට (Risk of Survivance of Language) භාජන වේ.

බොරුවලින් සහ දරුණු ම්ලේච්ඡ කි‍්‍රයාවලින් සම්පූර්ණයෙන් සංතෘප්ත වුණු වචන නැවත පහසුවෙන් ජීවය ලබා ගන්නේ නැත.”

ඉහත ජේදය උපුටා ගත්තේ කොතැනකින් දැයි නිශ්චිත ව කීම අනවශ්‍ය යැයි සිතමි. අවශ්‍ය වන්නේ අප දැන් සාකච්ඡා කරන ප‍්‍රස්තුතයට ආසන්න නිදසුනක් ගැනීම යි.

එබැවින් දැන් මොහොතකට පෙර ඔබ කියැවූ ඒ ඡේදය නැවත නැවතත් කියවන්න. එහි අන්තර්ගත යැයි අනුමාන කළ හැකි අරුතක් ගැන හිතන්න.

ඔබ පඹගාලක පැටලී ඇතැයි මට සිතේ. ඉතින් ඉහත ඡේදය ලියූ ලේඛකයාට අවශ්‍ය වන්නේ ද එය ම ය.

තම ලියැවිල්ල කියවන පාඨක ජනයාට නිරවුල් ව වැටැහෙන සේ (උපරිම අයුරින්, උපරිම අයුරින් යනු, තමා සාකච්ඡා කරන විෂයය හැකි පමණ ලිහිල් කිරීම ඉහත ලේඛකයා ගේ අභිප‍්‍රාය නො වේ.

ඔහු උත්සාහ ගන්නේ තමන්ගේ රචනාව සිංහල – ඉංග‍්‍රීසි වචන පටලයකින් මුවාකොට එහි අරුත ගූඪකරණයට පාවාදී රචනාව ප‍්‍රතිවාදීන් ගේ ආක‍්‍රමණයකට ලක් නොවන සේ රක්ෂා කැර තබා ගැනීමයි.

මෙය අප රටේ නව ප‍්‍රවණතාවක් ලෙස භාවිත කරමින් තම ලිවීම් කරන කීප දෙනෙක් ම සිටිති.

මා කලින් සඳහන් කළ 2004 සුනාමියට පෙර පැවැති එක්ස් කණ්ඩායම ද එහි අනුකාරකවාදී ව බිහි වූ තවත් කුඩා කණ්ඩායම් ද එසේම, තමා ඒ කිසිවකු අනුකරණය නොකරනවා යැයි පාරම්බාමින් ම එය මැ කරන තනි පුද්ගල චරිත කීපයක් ද මේ අතරේ විය.

එසේ නම් මේ සැවොම ලියනා ලියැවිලි සියල්ල ව්‍යාජ, අරුත්සුන් ප‍්‍රයෝගකාරී ලිවීම් පමණක්ම ද?

නැත. එය එසේ කීම ඒ හැමදෙන සාහිත්‍ය කලාව සංස්කෘතිය හෝ දේශපාලනය වැනි විෂයයන් කෙරේ දක්වන අපමණ ළැදියාව හා උනන්දුවත් මානසික වෙහෙසත් ඉතා අසාධාරණ ලෙස අවතක්සේරු කිරීමකි.

එහෙත් ඒ සියලු සාධනීය වෑයම් කිරීම් පිටුපස ඇත්තේ යම් ශාස්තී‍්‍රය හීනමානයකි. ආත්ම අවිශ්වාසයකි. තරමක කුහකකමකි. සංවාදයට ඇති පැකිළීමකි.

නිතරගයෙන් ජය ප‍්‍රාර්ථනා කිරීමකි. අධිපතිවාදයට ලොල් වූ බවෙකි.

තරමක නිවටකමක් ද ගම්‍ය නොවන්නේ නො වේ. එසේ වී නම්, එදා ප්ලේටෝ හඳුන්වා දුන් ‘උදාර මුසා බස්’ සංකල්පය ඊට පසු කාලයක වඩා වර්ධනය වූ අද අප සංවාදයට බඳුන් කරන මෙකී ‘ගූඪ රචනා’ ශෛලියට අත්පොත් තැබුවා වන්නේ කෙසේද? එනයින් ම, එසේ වීම කරණ කොට ගෙන ම මේ ගුඪ රචනාවන් ද ‘උදාර මුසාබස්’ යන්නෙහි අරුත් නඟන ද්විත්ව ප‍්‍රතිපක්ෂ ගුණයෙන් ද අනූන ය.

එය තවදුරටත් පැහැදිලි කරනුයේ නම් උදාර යනු උතුම් යන්න යි. මුසා බස් යනු බැහැර කළ යුතු යමකි.

එහෙත් ප්ලේටෝ තම ‘ද රිපබ්ලික්’ ලියවිල්ලෙන් ගෙන හැර දැක්වූ උදාර මුසාබස් යනු ඉහත කී සුගුණ නුගුණ දෙපස ම ඇති, සුගුණ කෙරෙන් නුගුණ සමහන් වන්නා වූ ද නුගුණ කෙරෙන් සුගුණ ප‍්‍රතික්ෂේප නොවන්නා වූ ද සංකල්පයකි.

එබැවින් වර්තමානයේ අප සංවාදයට ගන්නා මේ ගුඪ රචනාවන් ද එකී ගුණ මැ ප‍්‍රකට කරයි.

(ඪ) බහුතර පාඨක ජනයා හට වටහා ගැනීමේ අපහසුතාවක් තිබුණ ද ගුඪ රචනාව ඵලක් නැති හිස් ලියවිල්ලකැ යි කිසිවකු හට තර්ක කළ නො හැකි වීම.

(ඪඪ) ගුඪ රචනාව ද උදාර මුසාබසක් සේ ම ගුඪ බව ද ඉන් පැනෙන අරුත පිළිබඳ වූ අවිනිශ්චිත බව ද හේතු කොට අධිපති ස්වරූපයක් දැනැවීම.

(ඪඪඪ) ප්ලේටෝ කියූ සේ ම උදාර මුසාබස් දොඩන්නන් වූ දාර්ශනික නිරිඳුන් මෙන් මෙකී ගුඪ රචනා රචකයන් ද තමා පෙරළා ප‍්‍රශ්න කිරීමකට සූදානම් නොවීම හා යමකු එසේ ප‍්‍රශ්න කළ විට ඒ ප‍්‍රශ්නකරු මුග්ධයකු හෝ ඥානහීනයකු යැයි නම් කොට පිරිහෙළා දැමීම.

දැන් අප මේ කතාබහ අවසන් කළ යුතු වන බැවින් ඉහත දැක්වූ සියලු කරුණු පාදක කොට ගෙන යම් කිසි වූ නිගමනයක් වෙත පැමිණිය යුතු ව ඇත.

මීළඟ නිදසුන් උපුටා ගැනීම වෙත යමු.

“ජෝර්ජ් ස්ටයිනර් ‘භාෂාව සහ නිශ්ශබ්දතාව‘ (Language and Silence) රචනා කරන්නේ භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ අර්බුද කතිකාවක් හා හැඬීම් කතිකාවක්(Discourse of Mourning) වෙනුවෙනි.

හිට්ලර් ගේ නාසිවාදයේ නැඟීම ඉදිරියේ භාෂාව, විශේෂයෙන් ජර්මන් භාෂාවෙහි ඇති වූ අර්බුදයත්, නාසි අපරාධ ඉදිරියේ භාෂාව නිශ්ශබ්දතාවක ගිලීමත්, නාසි බොරු සඳහා ජර්මන් භාෂාව පාවිච්චි කිරීමෙන් ඒ බසෙහි ඇති වූ මාරාන්තික ආතතියත්, කෆ්කා සහ විට්ගන්ස්ටයින් ප‍්‍රමුඛ සාහිත්‍යකරුවන් සහ දාර්ශනිකයන් වෙතින් පැන නැඟුණු භාෂාත්මක ප‍්‍රතිචාරයත් ඔහු එමැ කෘතියෙහි සාකච්ඡා කරයි.”

ඉහත ඡේදය තම පාඨක ජනයා වෙත ගෙන එන්නට අරඅඳින දැනුම ඉහළ අගයක් ගනී. එහෙත් බහුතර පාඨකයා ලියැවිල්ල කුණු කූඩයට දමනු ඇත. හේතුව ව්‍යාජ පණ්ඩිතමානී බව හා තම ලිවීමේ අධිපති බව රක්ෂා කරන්නට එහි ඒ ඇසුරේ තනා ඇති බොරු වළවල් හා සර්ප දිය අගල් වැනි කඩඉම් ය.

ඉහත රචකයාට ඔහු ලියා ඇති දේ මීට වඩා ලිහිල් ව ලියන්නට ඕනෑ තරම් අවකාශ තිබිය දීත් ඔහු ඉහත ආකාරයට තම ලිවීම කරන්නේ දැනුම බෙදාහදා ගැනීමට ඇති අකැමැත්ත හා ප‍්‍රශ්න කිරීමකට ලක්වීමෙන් වැළැකීමට යි.

මා මේ ව්‍යායාමය හැඳින්වීමටත් තේරුම් කිරීමටත් යොදා ගන්නේ ඇමෙරිකන් ලේඛිකා ලෝරන් ආර්ට‍්‍රස් ගේ (Lauren Artress) වංකගිරි න්‍යායාත්මක එළැඹුම යි. ඉන් ලෝරන් කියාපාන්නේ වංකගිරිය හෙවත් Labyrinth නමැති සංකල්පය මිනිසුන් හට සිය ජීවිතය සහ ආත්මය පවා තේරුම් ගැනීමට භාවිත කළ හැකි මෙවලම් සංකල්පයක් බව යි.

මේ බව කියාපාමින් කෘති කීපයක් ම ලෝරන් අතින් සංග‍්‍රහ වී ඇත. (Sacred path - 1/2 සහ The Sand Labyrinth Kit) වරක් ලෝරන්, කි‍්‍රස්ටීන් ෆෙයාර්චයිල්ඩ් නම් මාධ්‍යවේදිනිය හා කළ සංවාදයක දී (The Labyrinth A Medieval Tool for the Postmodern Age) කියා සිටින්නේ, වංකගිරියක සහ දුර්ගගිරියක Labyrinth - Maze) අතර ඇති වෙනස ගැන යි. ඇය කියා සිටින්නේ, වංකගිරියක් නියමාකාරයෙන් වටහා ගැනීම ම මොළයට ලාභයක් බව යි.

එවිට එය තරණය කිරීමෙන් වරෙක මංමුළා වුව ද අවසානය පිළිබඳ සාධනීය බලාපොරොත්තු තැබිය හැකි බව යි. එහෙත් දුර්ගගිරියක දී සිදුවන්නේ තරණය කරන්නා බොරුවලවල්වලට යොමුවීම හෝ අන්තරායයන්ට මුහුණපෑම ය.

ඉතා සරල ව සහ කෙටියෙන් ඉහත විස්තර කළ න්‍යායික එළැඹුම අනුව යමින් මා ඔබට කියන්නේ අප නිමකරන ශාස්තී‍්‍රය න්‍යායික රචනාවක් සැමවිට ම වංකගිරියක් වූවාට කමෙක් නැති බව යි. එහෙත් දුර්ගගිරියක් නම් නොවිය යුතු බවයි.

වංකගිරිය තරණයට දැනුම්වත් බව ඇවැසි වෙයි. එය අභියෝගාත්මක ය. අලසයන්ට එය නොකළ හැක්කකි.

එහෙත් දුර්ගගිරිය හෙවත් Maze තරණය කිරීම අන්තරායකාරී මෙන් ම අනර්ථකාරී ය. එබැවින්, ශාස්තී‍්‍රය රචනා නිමවන්නකු කාවේ‍යාක්තීන් ගෙන් මෙන් ම සුපසන් වක් බසින් ද නැණ පහන් දල්වන නව දැනුමෙන් ද පිරිපුන් ව තම රචනාව නිමවීමේ කිසිදු වරදෙක් නැත.

එහෙත් එය පාඨක මගියා හට බුද්ධිප‍්‍රායෝගික වංකගිරියක් ම මිස හිංසාකාරී අනර්ථයෙන් මඟ වළකන දුර්ගගිරියක් නම් නොවිය යුතු බව යි.

එහෙත් Obscurantism හෙවත් ගුඪ රචනා ශෛලිය වසර දහස් ගණනක් තිස්සේ පැවැත ඇත්තේ මානව හිතවාදී, බුද්ධි ප‍්‍රබෝධන වංගකිරියක් ලෙස නම් නො වේ.

තමන් හට බුද්ධි ප‍්‍රභාවක් ඇතත් එකී දැනුම අන් අය හා බෙදාහදාගැනීමට අකැමැති මසුරු, අධිපතිවාදීන් ගේ මානව එදිරිවාදී බුද්ධි ගූඪකරණ දුර්ගගිරි ඉදිරිපත් කිරීමක් ම ලෙසිනැ යි යන්න මාගේ විශ්වාසය යි.

පයිතගරස්

පයිතගරස් සැමොස්හි (උපත - ක්‍රි. පු. 580-572 අතර මිය යාම ක්‍රි. පු. 500- 490 අතර) අයෝතියානු ග්‍රීක ගණිඥයෙකි. ඔහු පයිතගෝරියානු ආගමික ව්‍යාපාරයේ නියමුවාය. ඔහු විශිෂ්ඨ ගණිතඥයෙක්, විද්‍යාඥයෙක් හා මුනිවරයෙක් වශයෙන් පිදුම්‍ ලබා ඇත. කෙසේ වුවත් ගණිතය හා ස්වභාවික දර්ශනය කෙරෙහි ඔහුගේ දායකත්වය පිළිබඳව සමහරුන් ප්‍රශ්නකර ඇත. ග්‍රීකයන් අතර “වඩා දර්ශනවාදී තැනැත්තා” ලෙස හෙරඩොටස් විසින් ඔහුව සලකන ලදී. ඔහුගේ නම, පයිතත් හිරුදෙවියා සමග සැසදීමට යොමු කරන ලදී. ඇරිස්ටිපස් ඔහුගේ නම පහත පරිදි විවරනය කරයි. ඔහු පයිතත් ( - Pyth) ඉරු දෙවියාට සමානවම සත්‍ය පවසයි. (agor -)”පයිතියා සිය ගැබිණි මව අතිශය ලස්සන වූද , ඥානවන්ත වූද, මිනිසුන්ට වැඩදායී වූද මිනිසෙකුට උපත දෙන බවට අනාගත වාක්‍ය පැවසූ පුවත ඉම්බිලිකස් විසින් වාර්තා කොට ඇත.

පයිතගරස් ඔහුගේ නම අඩංගු පයිතගරස් ප්‍ර‍‍ම්යෙ සදහා ප්‍රචලිතය “අංක ශාස්ත්‍රයේ පියා” වශයෙන් සැලකෙන පයිතගරස් ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ අගභාගයේ දාර්ශනික හා ආගමික ඉගැන්වීම්‍ කෙරෙහි දායකත්වයක් දක්වා ඇත. පුරාවෘත හා අවුල් කිරීම්‍ පෙර සොක්‍රටීයන්ටත් වඩා ඔහුගේ කාර්යයන් අඳුරු කල නිසා ඔහුගේ ඉගැන්වීම්‍ හා ජීවිතය පිළිබද යමෙකුට විශ්වාසයෙන් කිවහැක්කේ ඉතා ස්වල්පයක් පමණි. සෑම දෙයක්ම ගණිතය හා සැබැඳි බවත් අංක ශාස්ත්‍රය සර්ව සත්‍ය බවත් ගණිතය තුලින් සෑම දෙයක් පිළිබඳව අනාවැකි පලකල හැකි බවත් ගණිතය මාර්ගයෙන් සෑම දෙයක්ම රිද්මයානුකූල රටාවන් හෝ චක්‍රයන් මගින් මැනිය හැකි බවත් පයිතගරස් හා ඔහුගේ අනුගාමිකයන් විශ්වාස කලහ. ඉයම්‍බලිකස්ට අනුව, පයිතගරස් වරෙක “අංක ශාස්ත්‍රය අදහස් හා ආකෘති වල ස්විමියා හා දෙවියන් හා යක්ෂයන් ඇතිවීමට හේතුව” බවත් පවසා ඇත.

ඔහු තමා දාර්ශනිකයෙක් හා ඥානයට ආලය කරන්නෙක් යැයි කී පළමු මිනිසා විය. පයිතගරස්ගේ අදහස් වලින් ප්ලේටෝ දැඩි ආභාෂයක් ලැබීය. අවාසනාවකට මෙන් පයිතගරය ගේ සටහන් කිසිවක් අද වන විට නැති නිසා ඔහු පිළිබඳව දැනගැනීමට ඇත්තේ ස්වල්ප වශයෙනි. ඔහු ගේ සොයාගැනීමි පිළිබඳ ඔහුට ගෞරව කිරීම්‍ සියල්ලම පාහේ ඔහුගේ අනුප්‍රාප්තිකයන් හා සගයන් විසින් සිදුකරනු ලැබුවා විය හැක.